මානසික සෞඛ්‍ය දිනය මට අදාල වෙන්නේ කොහොමද?

මානසික සෞඛ්‍ය | A young South Asian woman sits peacefully by a sunlit window, gently smiling with her eyes closed as she holds a beige mug in both hands. She wears a rust-colored sweater and is surrounded by lush green houseplants and cozy cushions, bathed in warm morning light. The scene evokes calm, mindfulness, and emotional well-being.

මානසික සෞඛ්‍ය දිනය අදට විතරක් නෙවෙයි හැමදාටම අදාල වන දෙයක් කියලා අපි හිතට ගන්න අවශ්‍යයි. ඇයි ඒ කිව්වොත් මානසික සෞඛ්‍ය අපි හැමෝටම බලපාන කාරණාවක් ය. එය එක් පුද්ගලයකුට පමණක් බලපාන දෙයක් ලෙස සලකන්නට බැහැ. මානසික සෞඛ්‍ය යන වචනයට වඩා සරිලන වචනය වන්නේ මානසික යහපැවැත්ම (Mental Well-being) යන වචනයයි. මානසික යහපැවැත්ම තහවුරු කරගැනීමෙන් අදහස් වෙන්නේ අපිට එදිනෙදා මානසිකව ඇති වන ආතතිය හා මානසික පීඩනය අවම කරගැනීමට උත්සහ කිරීමයි.

මානසික සෞඛ්‍ය එහෙමත් නැතිනම් මානසික යහපැවැත්ම සඳහා සෘජුවම බලපාන්නේ මොනවාද?

අපේ එදිනෙදා ජීවිතයේ අපිට මුහුණ දීමට සිදුවන විවිධාකාර වූ තත්ත්වයන් මානසික සෞඛ්‍යය කෙරෙහි බලපානවා ඇත. ඒ තත්ත්වයන් මානසික පීඩනය හා මානසික ආතතිය වැඩි කිරීමට හෝ අඩු කිරීමට ශක්තිය තිබේ. එවැනි කාරණා කිහිපයක් ගැන අපි සලකා බලමු.

දවස තුල ඔබ වෙනුවෙන් විනාඩි කිහිපයක් වෙන්කර ගැනීම

දවසේ වැඩකටයුතු අවසානයේ හෝ දවසේ වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර ඔබට ඔබ වෙනුවෙන් විනාඩි කිහිපයක් හොයා ගන්නට හැකියාවක් තිබේද? මෙලෙස ඔබ ඔබ වෙනුවෙන් සොයා ගන්නාවූ කෙටි වේලාව ඔබේ මානසික සෞඛ්‍යට හා මානසික යහපැවැත්මට දැඩි බලපෑමක් ඇති කල හැකි වේ. ඒසේම ඒ කෙටි වේලාව තුල ඔබේ මනස එකලස් කරගැනීමටත්, කාර්යබහුලත්වයෙන් කෙටි විරාමයක් ගැනීමටත් ඔබට හැකි වේ. මෙය ඉතා වැදගත් දෙයකි. එක් දවසක් තුලදී ඔබට ඇති වන්නා වූ මානසික ආතතිය හා මානසික පීඩනය මඟහරවා ගැනීමට ඔබ වෙනුවෙන් ඔබට නිදහසක් ලබා ගැනීමට විනාඩි කිහිපයක් වෙන් කරගන්න.

ව්‍යායාමවල නිරත වීම

ව්‍යායාම කිරීම ඔබට ඇති මානසික පීඩනය හා මානසික ආතතිය වළකා ගැනීමට ඉවහල් වේ. කෙතරම් කාර්යබහුල වූවත් දවසෙන් විනාඩි 30ක් වැනි කෙටි කාලයක් ව්‍යායාම කි‍රීම සඳහා වෙන්කර ගැනීම අතිශයින් වැදගත් ය. ව්‍යායාම කිරීම මඟින් ඔබේ ශරීරයට හා මොළයට හිතකර හෝර්මෝන ගලා ඒමට ඉඩ සලස්වන බව ඔබ දන්නවා ද? දිවීම, යෝගා කිරීම, නැටීම හෝ සරල ව්‍යායාම කිරීමෙන් Dopamine, Endorphins, Oxytocin, Adrenaline වැනි හෝර්මෝන නිකුත් වේ. මෙමඟින් ඔබේ මානසික පීඩනය ඉතා වේගයෙන් අඩුවේ. ව්‍යායාමවලට මුල්තැන දීම ශාරීරික හා මානසික සෞඛ්‍යය යන දෙකටම ඉතා වැදගත් ය.

තමන් වෙනුවෙන්ම වෙලාවක් සොයා ගැනීම (Me Time)

සතිය තුල තමන් වෙනුවෙන් කාලයක් වෙන් කර ගැනීම මානසික සෞඛ්‍යයට හා යහපැවැත්මට බලපාන වැදගත් කරුණක් වේ. මෙයට අදාල වන්නේ පොතක් කියවීම, චිත්‍රපටියක් නැරඹීම, ගීතයකට සවන් දීම, කෑමකට එළියට යෑම, salon එකකට යෑම, shopping කරන එක යන මේ සියලු දේ තමන් විසින් තමන් වෙනුවෙන් කරන ක්‍රියාකාරම් වේ. මෙවැනි තමන් මුල්කරගෙන කරන්නා වූ ක්‍රියාකාරම්වලට යොමු වීම මානසික සෞඛ්‍යයට වැදගත් වේ. එවිට ඔබට ඔබ වෙනුවෙන්ම වෙන්කරගත් කාලය ගත කිරීම තුලින් මානසික සෞඛ්‍යය ශක්තිමත් කරගැනීමට හැකිය. මෙයින් අදහස් වන්නේ දිනපතා හෝ සතිපතා හෝ කාල සීමාවකට කොටු නොවී තමන් තමන් වෙනුවෙන්ම ගත කරන කාලය ඉතා වැදගත් බවයි.

සියලු දේ තමන්ගේ බරක් ලෙස සැලකීම නැවැත්වීම.

සමහර අය හැම ප්‍රශ්නයක්ම අන් අයගේ ප්‍රශ්න, වටපිටාවේ ප්‍රශ්න, දේශපාලනික වේවා, සමාජීය වේවා මේ සියල්ල තමන්ගේ බරක් ලෙස අර්ථකතනය කරගන්නවා. එය සිදු විය යුතු දෙයක් නොවේ. ඔබ එසේ සිතන විට ඔබගේ මානසික ආතතිය සිතා ගැනීමට නොහැකි ලෙස වැඩි වේ. සැම විටම අපි අවධාරණය කරගත යුත්තේ අපි සීමිත ධාරිතාවයක් ඇති මනුෂ්‍යයන් එනිසා සියලු ප්‍රශ්න අපට විසඳන්නට බැරි බවයි. තමන්ට විසඳීමට හැකි සහ තමන්ගේ රාමුව තුල තිබෙන ප්‍රශ්න ගැන පමණක් සිතීම මානසික යහපැවැත්මට ශක්තිමත් කරගැනීමට ප්‍රායෝගික විසඳුමක් වේ.

අධ්‍යාත්මික සුවය සෙවීම.

මානසික සෞඛ්‍යය හා මානසික යහපැවැත්ම ශක්තිමත් කරගැනීමට ඉවහල් වන්නා වූ කාරණයක් ලෙස ආධ්‍යාත්මික සුවය පවත්වාගෙන යාම නම් කල හැක. ආගමික වතාවත්වල යෙදීම, ගීතිකා ඇසීම, ආගමික පොත්පත් කියවීම, පුණ්‍යකර්ම කිරීම වැනි දේ මඟින් සිතට ගැඹුරු නිදහසක් ලබා ගැනීමට ඔබට හැකියාව ඇත. ඔබ විශ්වාසකරන්නාවූ දෙයින් සිතට හා මනසට සහනය ලඟා කරගැනීමට උත්සාහ කරන්න. මානසික ආතතිය හා මානසික පීඩනය අඩු කරගැනීමට ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙන්න.

ඔබ මේ සම්බන්ධව හොඳින් සිතා බලන්න. මානසික සෞඛ්‍යය හා මානසික යහපැවැත්ම අප සියල්ලන්ටම ලබාගන්නට පුලුවන් දෙයකි. සමහරෙක්ට බරපතල මානසික තත්ත්වයන් ඇති වෙන්නට පුලුවන් ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතිය අනිවාර්යයෙන් කල යුතුය. නමුත් සාමාන්‍ය වශයෙන් ගත් විට එදිනෙදා ජීවිතයේ අපට මුහුණ තත්ත්වයන්වලදී ඇති වන මානසික පීඩනය හා මානසික ආතතිය මෙවැනි කාරණා මඟින් මඟහරවා ගැත හැකි වේ. එමෙන්ම මානසික සෞඛ්‍යය හා මානසික යහපැවැත්ම තහවුරු කරගැනීමටද මේවා උපකාරී වේ.