අධ්‍යාපනයට Social Media වැදගත් වන්නේ ඇයි?

social media
(Social Media)

අපේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට Facebook, TikTok, Instagram, YouTube, Telegram, WhatsApp වැනි සමාජ මාධ්‍ය (Social Media) පත් වී අවසන් ය. බොහෝ දෙනා විනෝදය සඳහා මෙන් ම මිතුරන් සමඟ කඩිනම් අදහස් හුවමරුවක් සඳහා ද මේ මාධ්‍ය භාවිතා කරති. එහෙත් විනෝදාස්වාදය සඳහා භාවිතා කරන සමහර සමාජ මාධ්‍ය ප්‍රබල අධ්‍යාපනික මෙවලම් වන බව ඔබ දන්නවා ද? විධිමත් හා අවිධිමත් ඉගෙනුම් ක්‍රමවේදයන් යා කරන දම්වැලක් ලෙස ක්‍රියා කිරීමට සමාජ මාධ්‍යයට පුළුවන.

පාසැල් අධ්‍යාපනය තුළ සමාජ මාධ්‍ය භාවිතය මඟින් සිසුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට පහසුවෙන් ප්‍රයෝජනවත් තොරතුරු ලබා ගැනීමට සහ අනෙකුත් ඉගෙනුම් කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමට ද හැකි වේ.

Project Noah යනු දැනුමැති සහ පළපුරුදු ගෝලීය ප්‍රජාවක සහාය ඇති ව වනජීවී ඡායාරූපකරණය පිළිබඳ ව දරුවන්ට ඉගෙන ගත හැකි ඔන්ලයින් ප්‍රජාවකි. DiGii Social විසින් ආරක්ෂිත සමාජ ජාල වේදිකාවක් සපයන අතර, එමඟින් ආරක්ෂිත ඩිජිටල් ජීවිතයක් සඳහා දරුවන් දැනුවත් කිරීම සහ සූදානම් කිරීම සිදු වෙයි. උදාහරණයක් ලෙස, ඔවුහු මාර්ගගත ආරක්ෂාව (Online safety) සහ ඩිජිටල් පුරවැසිභාවය (Digital citizenship) පිළිබඳ ව පරිශීලකයන් දැනුවත් කරති.

Edublogs ගුරුවරුන්ට පන්තිකාමර කළමනාකරණය සඳහා සහාය වන අතර, එමඟින් සිසුන්ට පාඩම් සැපයීම සහ ඔවුන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ප්‍රදර්ශනය කිරිම ද සිදු වේ.

තව ද, YouTube, Facebook සහ Instagram වෙබ් අඩවි මඟින් ගණිතය, විද්‍යාව, පරිසරය, ඉතිහාසය වැනි විෂයානුබද්ධ අධ්‍යාපනික තොරතුරු ලබා ගත හැකි ය. විශාල පරිශීලකයින් සංඛාවක් ඇති Ted-Ed (විවිධ විෂයන්), Khan Academy (විවිධ විෂයන්), Applied Science (විද්‍යාත්මක හා තාක්ෂණික යෙදීම්), SchiShow (විද්‍යාව), AsapSCIENCE (විද්‍යාව), National Geographic (භූගෝල විද්‍යාව), HowStuffWorks (විද්‍යාත්මක හා තාක්ෂණික යෙදීම් වැඩ කරන ආකාරය) සහ Crash Course (විවිධ විෂයන්) වැනි YouTube නාලිකා මෙයට උදාහරණ වේ.

ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයින්ට DP Education වැනි YouTube නාලිකා තුළින් අධ්‍යාපනික වැඩසටහන් සිංහලෙන් ලබා ගත හැකි ය. තොරතුරු පහසුවෙන් මතක තබා ගැනීමට මේ අධ්‍යාපනික වීඩියෝ ශිෂ්‍යයින්ට බොහෝ සේ උපකාරී වේ. එසේ ම, බොහෝ ගුරුවරු YouTube හරහා තම පාඩම් සජීව ලෙස විකාශනය කරති. මේ වැඩසටහන් ඔස්සේ ශිෂ්‍යයින් හට අවශ්‍ය විෂය අනුව විවිධ දැනුම ලබා ගැනීමට, ප්‍රශ්නවලට ඉක්මන් පිළිතුරු ලබා ගැනීමට මෙන් ම විවිධ ඉගෙනුම් ක්‍රම හරහා ඉගෙන ගැනීමට ද ඉඩ සැලසේ.

WhatsApp වැනි සමාජ මාධ්‍ය (Social Media) මඟින් ගුරුවරු, ඔවුන්ගේ පන්තියට අදාළ නිබන්ධන සහ පැවරුම් පළ කර ගැටලුවලට විසදුම් සිසුන්ට ලබා දීම මේ වන විටත් ලංකාවේ බොහෝ පාසල්වල ක්‍රියාත්මක වේ. තව ද, සිසුන්ට කණ්ඩායම් ව්‍යාපෘති සහයෝගයෙන් එකමුතු ව කිරීමට, අදහස් හුවමාරු කර ගැනීමට සහ එකිනෙකාට සහාය දීමට ද මෙමඟින් හැකියාව ලැබේ.

සමාජ මාධ්‍ය (Social Media) නිසා විවිධ ක්ෂේත්‍රවල උගතුන් සහ සිසුන් අතර පරතරය අඩු වෙයි. LinkedIn සහ X වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා සිසුන්ට ලොව පුරා සිටින වෘත්තිකයින්, පර්යේෂකයින් සහ අධ්‍යාපනඥයින් සමග සම්බන්ධ වීමට හැකි ය. විවිධ දෘෂ්ටිකෝණ සහ විශේෂඥතාවන් ඇති උගතුන්ට නිරාවරණය වීම මඟින් සිසුන්ට ඔවුන් අනුගමනය කිරිමට ආශාවක් ඇති වන අතර, විවිධ වෘත්තීය මාර්ග පිළිබඳ මනා අවබෝධයක් ද ලැබේ.

කෙසේ වුවත් සමාජ මාධ්‍ය (Social Media) දෙපැත්ත කැපෙන කඩුවක් වැනි ය. අධ්‍යාපනය සඳහා සමාජ මාධ්‍ය (Social Media) ධනාත්මක ව භාවිතා කළ හැකි නමුත් එහි අන්තර්ගතය ජනනය කරනු ලබන්නේ පරිශීලකයන් විසිනි. ඒ නිසා ඇතැම් විට එම අන්තර්ගතය වලංගු නො වන මෙන්ම ව්‍යාජ හෝ අපවාදාත්මක විය හැකි ය. එබැවින් දෙමාපියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම ඇති ව මේ වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීම වඩාත් සුදුසු ය. එමෙන් ම ඔබගේ ලිපිනය, දුරකථන අංකය, පාසල් විස්තර වැනි පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේ බෙදා ගැනීමෙන් වැළකිය යුතු ය.

ඔබ, අධ්‍යාපනය සඳහා සමාජ මාධ්‍යයේ සහාය ලබා ගන්නේ නම් නිසි කාල කළමණාකරණයක් සහිත ව ඒවා පරිශීලනය කරන්න. නිකරුනේ සමාජ මාධ්‍ය භාවිතා කිරිමෙන් වළකින්න.