ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම තුලින් කාන්තා ප්‍රජාව බල ගැන්වීමේ සමාජ මෙහෙවර.

empower women community

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක් කාන්තාවන් වන නමුත් බහුතර කාන්තාවන්ට ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම අභියෝගාත්මක ප්‍රශ්නයක් ලෙස පවතී. දත්ත පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම ඉතා පහල මට්ටමක පවතින බවයි. පාරම්පරිකව පැවත එන සෞඛ්‍යයට අහිතකර පුරුදු, සනීපාරක්ෂක තුවා සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් නොමැතිකම වත්මන් තත්ත්වය සඳහා ප්‍රධාන නිර්ණායක අතර වේ.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 70%ක් ඔසප් වීමේදී සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන අතර තරුණ ගැහැණු ළමුන්ගෙන් 53.7%ක් ඔසප් වීම ගැන දැන ගත්තේ පළමු ඔසප් වීමේදී පමණක් බව පර්යේෂණවලින් වැඩිදුරටත් තහවුරු වේ. UNICEF අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලංකාවේ දෙමව්පියන්ගෙන් 60% ක් ඔසප් කාලය තුළ තම දියණියන් පාසල් නොයවන අතර එමඟින් ගැහැණු දරුවන් ගේ අධ්‍යාපනය කටයුතු මගහැරීමක් නිති පතා සිදුවේ. තවද, ගුරුවරුන්ගෙන් 80% ක් විශ්වාස කරන්නේ ඔසප් වීමේදී ස්නානය කිරීම නුසුදුසු බවයි.

මීට අමතරව, තරුණ ගැහැණු ළමයින්ගෙන් 85% ක් පළමු ඔසප් වීමට පෙර ගැබ් ගත නොහැකි බව විශ්වාස කරන බවත්, තවත් 75% ක් ඔසප් රුධිරය අපිරිසුදු වී ඇති බව විශ්වාස කරන බවත් දත්ත පෙන්වා දෙයි.

මෙම සියලු සාධක සනාථ කරන්නේ ඔසප් ක්‍රියාවලිය පිළිබඳව නිසි අවබෝදයක් බොහෝ දෙනා තුල නොමැති බවය. එයින් අදහස් කරන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන් සහ ගැහැණු ළමයින් තම ඔසප් ක්‍රියාවලිය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමේදී සැලකිය යුතු බාධකවලට මුහුණ දෙන බවයි.

මෙම තත්වය තුලින් කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට ඇතිවී තිබෙන සමාජ සහ මානසික පීඩනය ඉතා විශාලය –

  • රැකියා ස්ථානයේ අසනීප දින වාර්තා කිරීම – ස්ථාවර ආදායම් ලබන්නන් තම ඔසප් කාලය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් පීඩා විඳිති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගේ ආදායමට මෙන්ම රැකියාවේ කාර්යක්ෂමතාවයට ද හානි සිදු විය හැකිය.
  • අධ්‍යාපන කඩාකප්පල් වීම: ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ ගැහැණු ළමයින්ට මාපිය පීඩනය මුල්කර ගෙන හෝ සනීපාරක්ෂක තුවා සඳහා ප්‍රවේශය නොමැතිකම හේතුවෙන් ඔසප් කාලය තුළ පාසල මඟ හැරීමට සිදුවේ. මෙය තුලින් ඔවුන්ගේ අධ්‍යාපනය පසුබෑමකට ලක් වන අතර, එමගින් ඔවුන්ගේ අනාගතයට මෙන්ම එදිනෙදා වැඩ කටයුතු වලටද දැඩි බලපෑමක් එක්කරයි.
  • ශාරීරික සෞඛ්‍ය අවදානම්: පැරණි රෙදි වැනි සෞඛ්‍යආරක්‍ෂිත නොවන විකල්ප භාවිතා කිරීම බොහෝ දුරට සිදු වන්නේ සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා ගත හැකි වුවද ඒවා පිළිබඳ දැනුවත්භාවය නොමැතිකම හේතුවෙනි. සමහර විට එය පුරුද්දක් ලෙස සිදු වේ. මෙය ආසාදන සහ ප්‍රජනක සෞඛ්‍ය බලපෑම් ඇතුළු දරුණු සෞඛ්‍ය ගැටලුවලට තුඩු දිය හැකි අතර අවසානයේ ශ්‍රී ලංකාවේ දෙවන වඩාත් ප්‍රචලිත පිළිකා වර්ගය ලෙස හඳුන්වන ගැබ්ගෙල පිළිකා අවදානමටද ලක් විය හැක.

රෙදි භාවිතා කරන්නේ නම්, ස්වභාවික හිරු එළියෙන් විෂබීජ විනාශ වීම සඳහා එය හොඳින් සෝදා, දැඩි හිරු රශ්මියේ වියළීමට තැබිය යුතුය. බොහෝ විට, ලැජ්ජාව මුල් කර ගෙන කාන්තාවන් තම සෝදාගත් රෙදි අව්වේ වියළන්නේ නැත, ඒ වෙනුවට නිවස තුළ හෝ වැසිකිළිය තුළ වේලා ගනිති. රෙදි සේදුවද, හිරු රශ්මියෙන් වේලීමෙන් තොරව විෂබීජ විනාශ වන්නේ නැත.

  • සමාජ අපකීර්තිය සහ අව තකසේරුවට ලක්වීම: ඔසප් වීම වටා ඇති සංස්කෘතික තහනම් කිරීම් සහ මිථ්‍යාවන් ඔසප් වන කාන්තාවන් සහ ගැහැණු ළමයින් මුහුණ දෙන අභියෝග උග්‍ර කරයි. ඔවුන් බොහෝ විට ලැජ්ජාවට හා හුදකලාවට ලක් වන අතර, ඔවුන්ගේ මානසික යහපැවැත්මට සහ සමාජ අන්තර්ක්‍රියාවලට බලපෑම් කරයි. තවද, ඔසප් වීම සහ එයින් පැන නගින ගැටළු ගැන කතා කිරීම ඔවුන්ට සැමවිටම පහසු නැත.
  • ඔසප් වීම පිළිබඳ දැනුවත්භාවය නොමැතිකම: ඔසප් වීම මානසික හා ශාරීරික වෙනස්කම් ඇති කරන ආකාරය පිළිබඳ දැනුවත්භාවය නොමැතිකම මගින් බොහෝ විට දුර්වල සනීපාරක්ෂා සහ පෝෂණ රටා ඇතිකරන අතර එමගින් ජීවිතයට අහිතකර බලපෑම් එක්කරයි.

ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම වෙනුවෙන් කළ හැකි දේ –

  • ඔසප් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම : ඔසප් වීමේ ක්‍රියාවලිය කලමනාකර ගැනීමේ නිසි පිලිවෙත් සමාජ ගත කිරීම මෙන්ම නිරන්තර සහ අඛණ්ඩ දැනුවත්භාවය පවත්වා ගෙන යෑම. ඔසප් වීම සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කිරීම පිළිබඳව දෙමාපියන්ට තම දියණියන් දැනුවත් කළ හැකි අතර පාසල් මගින් ඔසප් වීම වඩා හොඳින් කළමනාකරණය කර ගත හැකි ආකාරය පිළිබඳව සිසු දැනුම ලබාදීම ප්‍රචලිත කල හැක.
  • ඔසප් සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරීම – පාසල්, සේවා ස්ථාන සහ පොදු ස්ථාන වලට පිරිසිදු වැසිකිළි, ජලාපවහනය සහ සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා බැහැර කිරීමේ පද්ධති ඇතුළු ඔසප් සනීපාරක්ෂක තුවා පහසුකම් ලබාදීම කඩිනම් කිරීම. මෙම පහසුකම් පවත්වා ගෙන යෑම සහ හොඳින් නඩත්තු කිරීම ඉතා වැදගත් වේ.
  • ප්‍රජා සහභාගීත්වය සහ දැනුවත් කිරීම: ප්‍රජාව සහ ප්‍රාදේශීය සංවිධාන සම්බන්ධ කර ගැනීමෙන්, ඔසප් වීම පිළිබඳව ඇති අපකීර්තියට අභියෝග කිරීමට සහ ඔසප් වීම සාර්ථකව කළමනාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව විවෘත සාකච්ඡා දිරිමත් කළ හැකිය.
  • සනීපාරක්ෂක තුවා සැපයීම : කාර්යාල සහ පාසල් වැනි පොදු ප්‍රදේශවල පහසු ප්‍රවේශය සඳහා සනීපාරක්ෂක තුවා සැපයුම් සැකසීම.

ඔසප් වීම සාර්ථකව කළමනාකරණය කිරීමේ වැදගත්කම ඉතා විශාල පරාසයකින් සමන්විත අංගයක් ලෙස සැලකිය හැක. එයට සනීපාරක්ෂක තුවා නොමැති වීම හෝ ඒවා ගැන නොදැන සිටීමට එහා ගිය කොටස් රැසක් ඇතුලත් වන බව අනුමාන කල හැක. හඳුනාගෙන ඇති ප්‍රධාන ගැටළු වන්නේ ඔසප් අධ්‍යාපනයේ ඌනතාවය, පරම්පරාවෙන් පරම්පරාවට යන සෞඛ්‍යයට අහිතකර පුරුදු, පිරිසිදු ජලය සඳහා ප්‍රවේශය නොමැතිකම, සනීපාරක්ෂක නිෂ්පාදන බැහැර කිරීමට නොහැකිවීම සහ මූල්‍යමය බාධාවන් ය.

ශ්‍රී ලංකාව තුළ, මෙම බහුවිධ ප්‍රශ්නය කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට, විශේෂයෙන් අඩු ආදායම්ලාභී සහ ග්‍රාමීය ප්‍රදේශවල සිටින අයට බලපාන අතර, එය නොයෙකුත් සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය අභියෝගවලට තුඩු දෙයි.

Fems අනුග්‍රහය දක්වන HER පදනම මෙය පිළිබඳ ප්‍රශ්න ප්‍රජාව අතරට ගෙනයාම, ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ සම්බන්ධ වීම පිළිබඳව කතිකාවක් මෙන්ම, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් දැනුමෙන් සහ දැනුවත්භාවයෙන් සවිබල ගැන්වීමට නායකත්වය දී ඇත.

ඔබට මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අපත් සමග එක්වන්න.

Website : https://herfoundation.lk/

Facebook ; https://www.facebook.com/profile.php?id=61559814167390

Instagram : https://www.instagram.com/herfoundation.lk/