පොලිස් ළමා සහ කාන්තා අපයෝජන විමර්ෂන කොට්ටාසයේ දත්තවලට අනුව, 2023දී පාසල් යන ගැහැනු දරුවන් 163 දෙනෙකු ගැබ්ණි මව්වරුන් ලෙස වාර්තා වී ඇති අතර, 2024දී එම සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබේ.
1989 නොවැම්බර් 20 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව, වයස අවුරුදු 18ට අඩු සියළුම අය “දරුවන්” ලෙස හැඳින්වේ.
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තියට අනුව, ස්ත්‍රීවයස අවුරුදු 16ට අඩු කෙනෙකු සමඟ ලිංගික සංසර්ගයක් පැවැත්වීම ඇයගේ කැමැත්ත නොසලකා හැරී “දූෂණයක්” ලෙස සැලකේ.
ඔබ දන්නවාද ළමා ගැබ් ගැනීම් සිදුවන්නේ කෙසේද කියා? (Child pregnancies)
- අඩු වයසින් ඇතිවන ප්‍රේම සම්බන්ධතා හේතුවෙන්
- තමන්ගේම පියා හෝ ඥාති මාමා වැනි ආශ්‍රිතයන්ගෙන් සිදුවන දූෂණය හේතුවෙන්
- මත්ද්‍රව්‍යයට ඇලුණු, කාම අශා ඇති පිරිමින්ගේ ගොදුරු වීම හේතුවෙන්
අදටත් ශ්‍රී ලංකාවේ බොහෝ ගැහැණු දරුවන් ඔසප් වීම, නරක ස්පර්ශය, සහ ලිංගික අවයව ආරක්ෂාව පිළිබඳ කිසිඳු දැනුමකින් තොරව ජීවත් වෙති. මේ අධ්‍යාපන හිඟය දරුවන්ගේ සෞඛ්‍යය පමණක් නොව, ඔවුන්ගේ මුළු ජීවිතයම විනාශයකට පත් කරයි.
“අවුරුදු 3 දරුවෙකුට ඔසප් චක්‍රය තේරෙන්නේ නැහැ, හැබැයි බඩ, මුණ සහ පපුව අල්ලන එක තේරෙනවා.” – වෛද්‍ය නුවන් තොටවත්ත
ඔනෑම දරුවෙකුට තමන්ගේ ශරීර කොටස් පිළිබඳ අවබෝධයක් ඇතිවෙන අවස්ථාවේදී, ඔවුන්ට ලිංගික අපයෝජනයෙන් වැළකී සිටිය හැකි පරිදි නිවැරදි දැනුම ලබාදිය යුතුය.
ශ්‍රී ලංකාවේ පිහිටි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා මෙම අධ්‍යාපනය ක්‍රමවත්ව ලබාදිය හැක. අධ්‍යාපන ක්‍රමය තුළින් සැලසුම් සහිතව මෙවැනි දැනුවත් කිරීමක් සිදු කළහොත්, මේ ආකාරයේ සිදුවීම්වල සංඛ්‍යා තරමකින්වත් අවම කළ හැක.
අදට ශ්‍රී ලංකාවේ ගැහැණු දරුවන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් ලිංගික ක්‍රියා පිළිබඳ කිසිදු දැනුමක් නොදනි.
ඔසප් වීමෙන් අනතුරුව, ගැහැණු දරුවන්ට තම ආරක්ෂාව සඳහා අපයෝජකයන්ගෙන් හැරෙන්න අවශ්‍ය අවබෝධයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
දරුවන්ට ලිංගික දැනුම ලබාදිය යුතු මුලිකම ස්ථාන වන්නේ –
- නිවස – ආරක්ෂාවද, නැතහොත් අනතුරද?
දරුවෙකුට ආරක්ෂාව ලැබිය යුත්තේ නිවස තුළය. ගැහැණු දරුවෙකු වර්ධනය වීමත් සමඟ, මව විසින් ඔසප් වීමෙන් පසුව ලිංගික ක්‍රියා පිළිබඳ මූලික අවබෝධයක් ලබා දිය යුතුය. ඇයගේ ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් ඇයට කියා දිය යුතුය කාම අශා ඇති අයගේ ගොදුරු නොවී ජීවත්විය යුතු බව.
- පාසල – විභාගයට පමණක් නොව!
අධ්‍යාපනය විභාග සීමාවෙන් මිදී ජීවිතය ගැන වඩාත් සත්‍ය දැනුමක් ලබාදිය යුතු වේ. ලිංගික දැනුම පාසල් විෂයමාලාවේ අවංකව, වයසට යෝග්‍යව ඇතුළත් විය යුතුය. මෙය ලිංගිකත්වය ව්‍යාජව දකින්නට නොව, ආරක්ෂාව පිළිබඳ අවබෝධයකි.
නමුත් මෙම ස්ථාන දෙකෙන් කිසිවකින්ද දරුවන්ට නිසි ලෙස ලිංගික අධ්‍යාපනයක් නොලැබේ. නිවස තුළ මව්වරුන් දරුවන්ට මෙවැනි දැනුම ලබා නොදෙති. ඔවුන් මෙය සඟවති: “ඔවා පොඩි ළමයි දැනගන්න ඔනේ දෙයක් නෙවෙයි, කාලේ එනකොට තේරෙයි” යයි කියමින්.
ඒ හේතුවෙන්, දරුවන්ට ලිංගික ක්‍රියා නරකද හොඳද කියා තේරුම්ගත නොහැක.
ඔබ ඔබේ දරුවට කියාදෙන්නෙද:
ලිංගික ක්‍රියා කවදා සිදුවිය යුතුද?
නිසි වයසට පෙර එවැනි ක්‍රියාවලියක යෙදීමෙන් සිදුවන අවාසි මොනවාද?
ඔසප් වීමෙන් පසුව තම ආරක්ෂාව සුරක්ෂිත කරගැනීමට කළ යුතු දේවල් මොනවාද?
“නරක ස්පර්ශය” කියන්නේ කුමක්ද? කාගෙන්ද එය සිදු වන්නේ?
ඔබට මවක් විදිහට අවශ්‍යම කරුණ වන්නේ
ඔබේම දරුවා වෙනුවෙන්, ඔබගේම දුප්පත් මනසිකත්වයෙන් මිදී, ඇයට නිවැරදි දැනුම ලබා දීමයි. දරුවා වැටෙන්නට යන වළකින් ගොඩ ගැනීම ඔබගේ වගකීමයි.