ගංවතුර වැනි ආපදා අවස්ථාවල දී ඔසප් සනීපාරක්ෂාව වැදගත් වන්නේ ඇයි?

Menstrual Hygiene | Three professional women standing confidently, representing women’s leadership and menstrual health advocacy, with Fems and H.E.R Foundation logos below.

Menstrual Hygiene | සුළි සුළං සහ ගංවතුර වැනි ආපදා තත්ත්වයන් ඇති වූ විට, ජීවිතය එක රැයකින් වෙනස් වේ. නිවාස විනාශ වී, දේපළ අහිමි වී, එමෙන්ම මිනිසුන්ට තම පෞද්ගලිකත්වය සහ දෛනික චර්යාව අහිමි වේ. නමුත් ඔසප් වීම වැනි ශාරීරික අවශ්‍යතාවයන් මෙම ව්‍යසනවලට නවතින්නේ නැත.

කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා, ඔසප් වීම එදිනෙදා සිදුවන ශාරීරික ක්‍රියාවලියක් වේ. නමුත් අපි දකිනවා සහන කටයුතු වලදී ඔසප් සනීපාරක්ෂාව (Menstrual Hygiene) පිළිබඳව කතා වෙන්නේ නැති බව. ආහාර, නවාතැන් සහ ඖෂධ මුල්තැන ගන්නා අතර සනීපාරක්ෂක තුවා, පිරිසිදු ජලය සහ කාන්තාවන් සඳහා ආරක්ෂිත ස්ථාන පිළිබඳව කතිකාවක් ගොඩනැගෙන්නේ නැත.

මෙම තත්ත්වය හොඳින් අවබෝධ කරගත් දුර්ගා කෙනී මහත්මිය ශක්තිමත් ලෙස ව්‍යසනයට මුහුන දුන් කාන්තාවන්ගේ ඔසප් අවශ්‍යතා හඳුනා ගෙන ඒ සඳහා යමක් කිරීමට ඉදිරිපත් වූවාය. හේමාස් ආයතනය, Fems හා H.E.R. පදනම සමඟ ඇයගේ ආයතනය වන BeWAXed හි හවුල්කාරිත්වය හරහා, ඇය ගංවතුරට මුහුන දුන් කාන්තාවන් සඳහා ඔසප් නිෂ්පාදන (Period Products) පරිත්‍යාග කිරීමට පියවර ගත්තාය.

ආපදාවන්හිදී ඔසප් සනීපාරක්ෂාව (Menstrual Hygiene) වැදගත් වන්නේ ඇයි?

“ජාතික ආපදා අවස්ථාවල දී එදිනෙදා කටයුතු අතපසු වුවද, මිනිසුන් අවතැන් වුවද කාන්තාවන් සහ ගැහැණු ළමයින් හට ඔසප් වීමට මුහුන දීම යථාර්තයක් ය. ඒ වෙනුවෙන් යමක් කිරීම මම දකින්නේ වැදගත් කාර්යභාරයක් ලෙසයි.”යි ඇය පැවසුවා ය.

නිසි නිෂ්පාදන, පිරිසිදු ජලය හෝ පෞද්ගලික අවකාශයන් නොමැතිව, ඔසප් වීම සෞඛ්‍ය අවදානමක් බවට පත්විය හැකිය. ඔසප් දරිද්‍රතාවය (Period Poverty) හේතුවෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු මෙන්ම මානසික පීඩාවන් ද ඇති විය හැකිය. ඔසප් වීම සහ ඔසප් දරිද්‍රතාවය (Period Poverty) ගැන කතා කිරීම තවමත් අපහසුතාවයක් ලෙස සලකනු ලබන නිසා බොහෝ දෙනෙක් ඒ ගැන සොයා බලන්නේ නැත.

මේ පිළිබඳව දැනුවත්භාවය සහ ඒ වෙනුවෙන් ගෞරවය ඇති කිරීම ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට වැදගත් බව ඇය පැහැදිලි කළාය:

“BeWAXed මෙන්ම හේමාස් ආයතන, FEMS සහ H.E.R. පදනම සමඟ වූ හවුල්කාරිත්වයත්, ඔසප් දරිද්‍රතාවය (Period Poverty) හඳුනා ගැනීම සහ නිෂ්පාදන සැපයීම කාන්තාවන්ගේ ගෞරවය සුරැකීම සහ සාමාන්‍ය ජීවිතය පිළිබඳ හැඟීමක් නැවත ගෙන ඒමට උදව් වූ බව නොරහසකි.”

“ආපදාවන්හිදී, කාන්තාවන් අවට ඇති සියල්ල විනාශ වූ විට පවා ඔවුන්ගේ ඔසප් වීම ‘කළමනාකරණය’ කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. නිවාස ජලයෙන් යටවී ඇත, පෞද්ගලිකත්වය අහිමි වී ඇත, නමුත් ඔසප් වීම පවතී. එය සමාජ ගැටලුවක් ලෙස අපට හැඟුණු අතර, එය නොසලකා හැරිය යුතු දෙයක් නොවන බව දුටුවෙමි.”

සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කිරීම භෞතික වශයෙන් පමණක් නොව මානසික වශයෙන්ද මිනිසුන් අතර බලපෑමක් ඇති කරන ක්‍රියාවක් බව ඇය පැහැදිලි කළාය.

“ඔසප් නිෂ්පාදන ලබා දීම ආසාදන හා සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීමට උපකාරී වේ. එමෙන්ම මානසික ආතතිය ද අඩු කරයි. කාන්තාවන් අනාරක්ෂිත ආකාරයෙන් ඔසප් වීම (Period) කළමනාකරණය කිරීම ගැන කරදර නොවන විට, ඔවුන් මානසිකව සුවපත් වීම මෙන්ම ඔවුන්ගේ පවුල් රැකබලා ගැනීම සහ ඔවුන්ට තම ජීවිත නැවත ගොඩනඟා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකිය. සරල සනීපාරක්ෂක තුවායකින් සෞඛ්‍යය සහ ආත්ම ගෞරවය ආරක්ෂා කළ හැකිය.”

මෙවන් තත්ත්වයන් තුල ඔසප් සනීපාරක්ෂාව තහවුරු කරගැනීමට:
විවෘත සංවාද ඇති කල යුතුය. “පවුල්, පාසල්, සේවා ස්ථාන සහ ප්‍රජාව ඔසප් වීම ගැන විවෘතව කතා කළ යුතුය.”යි ඇය පෙන්වා දෙයි.
සාමූහික ක්‍රියාමාර්ග – ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන සහ තනි පුද්ගලයින්ට ඔසප් නිෂ්පාදන පරිත්‍යාග කළ හැකි අතර නවාතැන්, පාසල් සහ සේවා ස්ථානවල ආරක්ෂිතව බෙදා හැරීමට සහාය විය හැකිය.
දිගුකාලීන විසඳුම් ලෙස සහන කට්ටලවලට සෑම විටම ඔසප් නිෂ්පාදන ඇතුලත් කිරීම සිදු කල හැකිය.

හේමාස් ආයතනය, Fems හා H.E.R පදනම සමඟ එක් වී සිදු කල කාර්යභාරය සමාජ සත්කාරයක් ලෙස ඉටු කිරීම තුලින් සමාජයට වටිනා දෙයක් ලබා දුන් බව තමන් විශ්වාස කරනවා යැයි ඇය පවසා සිටියාය.

“ඔසප් දරිද්‍රතාවය (Period Poverty) ගැන විවෘතව කතාබහක් ඇති වූ විට, ආරක්ෂිත අවකාශයන් සහ සෞඛ්‍ය ගැන විමසිලිමත් වන ප්‍රජාවන් නිර්මාණය වේ. ඔසප් වීම පිළිබඳ අපකීර්තිය බිඳ දැමීම ආරම්භ වන්නේ මෙවන් සරල ක්‍රියාමාර්ග වලින් ය: දරුවන් සමඟ කතා කිරීම, එකිනෙකාට සහාය වීම සහ විවෘත සංවාදයක් තෝරා ගැනීම යන කාරණා මෙයට අයත් වේ.” යැයි ඇය කියා සිටියාය.

ඔසප් සෞඛ්‍යය සමාජයේ සුඛෝපභෝගී දෙයක් නොවේ. එය මූලික අවශ්‍යතාවයකි. දැනුවත්භාවය, පරිත්‍යාග සහ විවෘත සංවාද මගින් මෙලෙස වෙනසක් ඇති කළ හැකිය. ඔසප් සනීපාරක්ෂාව (Menstrual Hygiene) යනු කාන්තා ගැටලුවක් පමණක් නොවේ. එය මානව ගැටලුවකි.