මෙලනි දසනායක බැංකු නිලධාරිනියක්, නිරූපිකාවක්, ජාතික පැසිපන්දු ක්‍රීඩිකාවක් සහ විශේෂයෙන් රූ රැජිනක් (මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2024) ලෙස දිගු ගමනක් පැමිණ තිබෙන දිරිමත් තරුණියකි(Melloney Dassanayake). ඇගේ ගමන නොපසුබට උත්සාහය, විනය සහ සිහින පසුපස හඹා යාම පිළිබඳව අපට බොහෝ දේ කියාදෙයි.
ගෝලීය වේදිකාවේ තරුවක්
මෙලනි මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2024 ලෙස කිරුළු පැළඳීම ඇගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් වූ අතර එය මෙක්සිකෝ නගරයේ කීර්තිමත් මිස් යුනිවර්ස් වේදිකාවේදී තම රට ආඩම්බරයෙන් නියෝජනය කිරීමට ඇයට ඉඩ සැලසුනි. ඇය “ශ්‍රී ලංකාව” යන වචන උච්චාරණය කරන සෑම අවස්ථාවකම දැනුණු අතිමහත් ආඩම්බරය ආදරයෙන් සිහිපත් කරන්නීය – එය තම මව්බිම කෙරෙහි ඇති ඇල්ම විදහා දැක්වූ මොහොතක් විය. තවත් අමතක නොවන සිදුවීමක් වූයේ ශ්‍රී ලංකාවේ වර්ණවත් සංස්කෘතික උරුමයට විචිත්‍රවත් උපහාරයක් ලෙස ඇය විශිෂ්ට ජාතික ඇඳුමකින් සැරසී තම දේශය නියෝජනය කිරීමයි.
මෙම රූ රැජින තෝරන තරඟයේ මහජන සහයෝගය මත දැඩි ලෙස රඳා පැවති තරඟකරුගේ ඡන්ද ක්‍රමය ඇයට සැලකිය යුතු අභියෝගයක් විය. තම උපරිම උත්සාහය තිබුනද, අනුගාමිකයන් රැසක් සිටින තරඟකරුවන් හා සසඳන විට ඇය යම්කිසි පසුබෑමකට ලක් විය. කෙසේ වෙතත්, අධෛර්යයට පත් නොවී, ඇය තමන්ට ඇති අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීම තෝරා ගත්තාය – ඇයගේ ශක්තිමත් පෞර්ෂත්වය, අර්ථවත් සම්බන්ධතා ගොඩනඟා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව ගෞරවාන්විතව නියෝජනය කිරීමට වූ හැකියාව තුලින් ඇය අපට ඔරොත්තු දීමේ හැකියාව, අධිෂ්ඨානය සහ ආත්ම විශ්වාසය පිළිබඳ මනා පාඩමක් අපට කියා දෙයි.
සංදර්ශනවල දීප්තිය සහ චමත්කාරයෙන් ඔබ්බට ගිය, මෙලනිගේ ජීවිතය විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය දැක්වීමට ඇයට ඇති හැකියාව පිළිබඳ සාක්ෂි දරයි. බැංකු නිලධාරිනියෙකු ලෙස, ඇය මූල්‍ය සාක්ෂරතාවය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන අතර, ඇය ආර්ථික ස්වාධීනත්වය සහ දැනුවත් තීරණ ගැනීම සඳහා, කාන්තාවන් සතු අයිතිය වෙනුවෙන් පෙනී සිටී.
ජාතික පැසිපන්දු ක්‍රීඩිකාවක් ලෙස ඇයගේ මලල ක්‍රීඩා දක්ෂතාවය ඇය තුළ විනය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ නොපසුබට උත්සාහය යන ගුණාංග ඇති කර ඇත – එය ඇගේ ජීවිතයේ සෑම අංශයකටම බලපාන විශිෂ්ට ගුණාංග වේ. ඇය මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා තරඟයට සහභාගී වීමට දිනකට පෙර වෙළඳ පැසිපන්දු අවසන් මහා තරඟයට ක්‍රීඩා කළාය, එය ඇගේ කැපවීම සහ කාලය කළමනාකරණ කුසලතා අවධාරණය කරන විශිෂ්ටත්වයකි.
නිරූපණ ලෝකයේද, මෙලනි ඇයගේ දක්ශතා විදහා දක්වයි. සුන්දරත්වය සහ බුද්ධිය අන්‍යෝන්‍ය වශයෙන් බැහැර නොවන බව ඇය ඔප්පු කර තිබේ. රොටරැක්ට් සමාජය සමඟ එක්වී, ප්‍රජාවට යමක් ලබා දීමටද ඇය කැපවී සිටින අතර ඇය සමාජීය මෙහෙවරක් වෙනුවෙන් පෙනී සිටින්නීය.
රූපලාවන්‍ය තරඟ වටා ඇති වැරදි වැටහීම් අවම කිරීමට ඇය අධිෂ්ඨානයක් තිබේ. මෙම තරඟ හුදෙක් භෞතික පෙනුම ගැන පමණක් නොව බුද්ධිය, චිත්තවේගීය ගැඹුර සහ නායකත්වය ගැන ද බව ඇය අවධාරණය කරයි. සම්මුඛ පරීක්ෂණ අංශය, ඇය සඳහන් කරන පරිදි, බොහෝ විට ප්‍රේක්ෂකයින් විසින් අවධානයට ලක් නොවන තීරණාත්මක අංගයක් වන නමුත්, එය ජයග්‍රාහකයා තෝරාගැනිමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.



ඇගේ අඩිපාරේ යාමට අපේක්ෂා කරන තරුණ ගැහැණු ළමයින්ට ඇය දෙන උපදෙස තුල කැපවීම සහ බලගැන්වීම යන දෙකම ඇතුලත් වේ. ඔවුන්ගේ අභ්‍යන්තර හඬ විශ්වාස කිරීමට, අභියෝග වැළඳ ගැනීමට සහ අව්‍යාජව සිටීමට ඇය ඔවුන්ගෙන් ඉල්ලා සිටී. “ධෛර්ය සම්පන්න වන්න සහ අවදානම් ගන්න,” ඇය පවසයි. “ඔබේ සුවපහසු කලාපයෙන් (comfort zone) පිටතට යාමට බිය නොවන්න. සැබෑ සාර්ථකත්වය ලැබෙන්නේ අන් අයගෙන් තහවුරු කිරීමක් ලබා ගැනීමට නොව, ඔබ කවුරුන්ද යන්නට සත්‍යව දැන සිටීමෙනි.”
සාර්ථකත්වය නිර්වචනය වන්නේ පිළිගැනීමට ලක්වීමෙන් පමණක් නොව, ඇය වටා සිටින අය සමඟ බෙදා ගන්නා ආදරය සහ සහයෝගය තුලින් බව ඇය මතක් කර දෙන්නීය. “මම මගේ ආදරණීයයන් සමග කාලය ගත කිරීම තුලින් ඔවුන්ව දිරිගන්වනවා” ඇය කියා සිටියි.
ඇය කාන්තාවන්ගේ මූල්‍ය සාක්ෂරතාවය සඳහා කැපවී සිටින අතර, අඩු පහසුකම් සහිත ප්‍රජාවන් දැනුවත් කිරීමට සහ බලගැන්වීමටද කටයුතු කරයි. අප දිවයිනේ සුන්දරත්වය සහ සංස්කෘතිය ලෝකයට ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දායක වීමට ද ඇය බලාපොරොත්තු වේ.
ඇය තම රූ රැජින කිරුළ වෙනුවෙන් පමණක් නොව, සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමටද බලාපොරොත්තු වන්නීය. “මම විශ්වාස කරන්නේ හැමෝටම සිහින දැකීමටත් ඒවා යතාර්ථයක් කරගැනීමටත් හැකි බව” ඇය පැවසීය. ජීවිතය යනු ජයග්‍රහණවලින් ඔබ්බට යමින්, අප ස්පර්ශ කරන ජීවිත වලට වටිනා අරුතක් එක්කිරීම බව ඇය විශ්වාස කරයි.