ඔසප් සෞඛ්‍යයේ වැදගත්කම
කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ ශරීර සෞඛ්‍යය සහ යහපැවැත්ම පාලනය කරනු ලබන ප්‍රධානතම සංසිද්ධිය වන්නේ ඔසප් සෞඛ්‍යයි. විශේෂයෙන්ම කාන්තාවන්ට ඔසප් සෞඛ්‍යය වැදගත් වන්නෙ එය ඔවුන්ගේ සමස්ත ශාරීරික, චිත්තවේගීය සහ ප්‍රජනක යහපැවැත්මට සෘජුවම සම්බන්ධ වන බැවිනි. සෞඛ්‍ය සම්පන්න ඔසප් චක්‍රයක් මඟින් ප්‍රජනක පද්ධතියේ නිසි හෝමෝන සමතුලිතතාව සහ ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරයි.
ඔසප් සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීමේ වටිනාකම
එක්සාත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව (එජා) 2024 ජුනි ප්‍රකාශ කර ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ ඔසප් වන කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආසන්න වශයෙන් මිලියන 4.2ක් පමණ වේ. නමුත් තවමත් ශ්‍රී ලංකා සමාජය ඔසප් සනීපාරක්ෂාව පිළිබඳව තවමත් විවෘතව සාකච්ඡා නොකරන මාතෘකාවක් බවට පත්ව තිබේ. ප්‍රධාන වශයෙන් මුල් බැසගත් සංස්කෘතික විශ්වාස සහ සමාජ සම්මත හේතුවෙන් ඔසප් වීම “ලැජ්ජා සහගත” හෝ “අපිරිසිදු” (කිළි) දෙයක් ලෙස සලකයි. එබැවින් දශක ගණනාවක් තිස්සේ, ඔසප් වීම නිශ්ශබ්දයෙන් සිටිය යුතු පරිසරයක් නිර්මාණය කර ඇති අතර, බොහෝ පවුල් එය ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු පෞද්ගලික මාතෘකාවක් ලෙස සලකයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, ගැහැණු ළමයින් බොහෝ විට ඔසප් වීම ගැන ඉගෙන ගන්නේ ඔවුන් එය මුලින්ම අත්විඳින විට පමණක් වන අතර, එය බිය, ව්‍යාකූලත්වය සහ වැරදි තොරතුරුවලට හේතු වී තිබේ. ආගමික සහ සාම්ප්‍රදායික විශ්වාසයන්ද එහි දී විශේෂ භූමිකාවක් ඉටු කරයි. එයට හේතුව වන්නේ ඇතැම් පුද්ගලයන් ඔසප් වීම අපිරිසිදුකම සමඟ සම්බන්ධ කරන අතර එමඟින් කාන්තාවන් තම ඔසප් කාලය තුළ සංස්කෘතික හෝ ආගමික ක්‍රියාකාරකම්වලට සහභාගී වීම සීමා කරයි.
මේ නිසා ඔසප් සනීපාරක්ෂාව පිළිබඳව ශ්‍රී ලංකා සමාජය දැනුවත් කිරීම වැදගත් වන්නේ එය ලැජ්ජා සහගත හෝ සැඟවුණු දෙයක් ලෙස නොව සාමන්‍ය හා සෞඛ්‍ය සම්පන්න ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් ලෙසෙඅ ඔසප් වීම තේරුම් ගැනීමට උපකාරී වන බැවිනි. ගැහැණු ළමයින්, කාන්තාවන්, පිරිමි ළමයින් සහ ප්‍රජා සාමාජිකයන්ට නිවැරදි තොරතුරු ලැබෙන විට, එය බොහෝ විට අපහසුතාවයට හා නිහඬතාවට හේතු වන මිථ්‍යාවන් සහ අපකීර්තිය අඩු කරයි. නිසි අධ්‍යාපනය මඟින් සනීපාරක්ෂක නිෂ්පාදන ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද යන්න සහ බැහැර කරන්නේ කෙසේද යන්න වැනි සනීපාරක්ෂක පිළිවෙත් ද උගන්වන අතර එමඟින් ආසාදන හා සෞඛ්‍ය සංකූලතා වළක්වා ගත හැකිය. එය විශ්වාසය සහ චිත්තවේගීන යහපැවැත්ම වැඩි කරයි, ගැහැණු ළමයින්ට පාසල් යාමට සහ කාන්තාවන්ට ඔවුන්ගේ ඔසප් කාලය තුළ පවා වැඩ කිරීමට හෝ දෛනික කටයුතුවලට සහභාගී වීමට හැකියාව ලබා දෙයි.
ඔසප් දරිද්‍රතාවය
ඔසප් දරිද්‍රතාවය යනු අරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න ඔසප් නිෂ්පාදන, නිසි සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂිත බැහැර කිරීමේ ක්‍රම සහ ඔසප් වීම ගෞරවාන්විතව කළමනාකරණය කිරීමට අවශ්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රවේශය නොමැතිකමයි. ශ්‍රී ලංකාවේ, මෙය තවමත් ප්‍රධාන ගැටලුවක්ව පවතින්නේ, කාන්තාවන් සහ ගැහැණු ළමයින් විශාල පිරිසකට ආරක්ෂිත ඉවත දැමිය හැකි සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමට හෝ ප්‍රවේශ වීමට නොහැකි බැවිනි. 2024 එක් පර්යේෂණයකට අනුව, ඔසප් වීම සිදුවන කාන්තාවන් සිටින නිවාසවලින් 50%කට ආසන්න ප්‍රමාණයක් ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදාන සඳහා මුදල් වියදම් නොකරයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවට සහ UNFPAට අනුව, 2018දී ඔසප් දරිද්‍රතා අනුපාතය 41%ක් විය.
එබැවින් අප සමාජයේ ඔසප් දරිද්‍රතාවය ආමන්ත්‍රණය කිරීම සඳහා දැනුවත්භාවය ඇති කිරීම, අධ්‍යාපනය සහ සහයෝගය කෙරෙහි අවධානය යොමු කළ සාමුහික ප්‍රජා ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. ප්‍රජාවක් ලෙස, අපි පාසල, සේවා ස්ථාන, ආගමික සැකසුම් සහ නිවාසවල විවෘත සංවාද ඇති කරගත යුතු අතර, එමඟින් නිශ්ශබ්දතාවය බිඳ දමා ස්වභාවික සෞඛ්‍ය ක්‍රියාවලියක් ලෙස ඔසප් වීම සාමාන්‍යකරණය කළ යුතුය. ප්‍රජා සෞඛ්‍ය සේවකයින, ගුරුවරුන්, තරුණ නායකයින් සහ කාන්තා කණ්ඩායම්වලට සනීපාරක්ෂක පිළිවෙත් උගන්වන, ආරක්ෂිත නිෂ්පාදන භාවිතය සහ බැහැර කිරීමේ ක්‍රම පැහැදිලි කරන සහ පිරිමින් සහ කාන්තාවන් යන දෙපිරිස අතර සහයෝගී ආකල්ප දිරිමත් කරන දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කළ හැකිය. දේශීය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා කණ්ඩායම්වලට අඩු ආදායම්ලාභී පවුල් සඳහා සනීපාරක්ෂක අයිතම සැපයීම සඳහා පරිත්‍යාග ව්‍යාපාර සහ ආධාරක ජාල ස්ථාපිත කළ හැකිය. පිරිමි ළමයින් සහ පිරිමින් දැනුවත් කිරීමෙන්, අපි අපකීර්තිය අඩු කර සංවේදනය වර්ධනය කළ හැකිය. අඛණ්ඩ දැනුවත්භාවය, ප්‍රජා සහයෝගිතාවය සහ සහය දක්වන මහජන සංවාදය හරහා ශ්‍රී ලංකාවට ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම සහ සියලුම ගැහැණු ළමයින් සහ කාන්තාවන් සඳහා ගෞරවය, සෞඛ්‍ය සහ සමානාත්මතාවය සහතික කිරීම කරා ගමන් කළ හැකිය.
මෙම වැඩසටහනේ සේවාව පාසල් දරුවන්ට ලබා දීමට කටයුතු කළ අයෙක් ලෙස, Fems විසින් පවත්වන ලද ඔසප් දරිද්‍රතාවය අවම කිරීම දැනුවත් කිරීමේ වැඩසටහන සැබැවින්ම ප්‍රශංසනීය මෙන්ම බලපෑම් සහගත වූ කර්තව්‍යයකි. තරුණ ගැහැණු ළමයින් ඔසප් සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව පිළිබඳ විවෘතව දැනුවත් කිරීමෙන් ඔසප් වීම සඳහා සෞඛ්‍ය සම්පන්න, වඩාත් විශ්වාසදායක ප්‍රවේශයක් දිරිමත් කරනු ලැබීය. ආරක්ෂිතව ඔසප් වීම කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීම ඉතා වැදගත් වූ දෙයකි. දැරිය හැකි මිලකට සහ රෙදි තුවා ආරක්ෂිතව නැවත භාවිතා කිරීමේ පියවර පිළිබඳව දැනුවත් කිරීම ප්‍රශංසනීය කාර්යයකි. විශේෂයෙන් සිසුන්ට බියෙන් හෝ අපහසුතාවයකින් තොරව ප්‍රශ්න ඇසීමට හැකි සුවපහසු පරිසරයක් නිර්මාණය කර, ඔවුන්ගේ ගැටලු සඳහා පිළිතුරු ලබා දීමද සිදු කරනු ලැබීම මහත් වටිනා දෙයකි. මෙම මුලපිරීම තරුණ ගැහැණු ළමයින්ගේ ශාරීරික යහපැවැත්මට සහාය වනවා පමණක් නොව, ඔවුන්ගේ චිත්තවේගීය විශ්වාසය සහ ආත්ම අභිමානය ශක්තිමත් කරනු ලැබීය. නිවැරදි තොරතුරු සහ සම්පත් සමඟ තරුණ පරම්පරාව සවිබල ගැන්වීමෙන්, වඩාත් අවබෝධාත්මක සහ සහාය දක්වන සමාජයක් ගොඩනැගීමේ දී Fems වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා යැයි අවසාන වශයෙන් ආචාර්ය නයනා සුරවීර පැවසුවාය.



