ඔසප් වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව පිරිමි ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව කතාබහක්

ඔසප් වීම | Fems

පරමනාදන් පුනිධසෙල්වි – යාපනය විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යාවක් සමඟ

ඔසප් වීමේ ක්‍රියාවලිය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ ඔසප් දරිද්‍රතාවයේ අභියෝග ජය ගැනීමට සියලු ප්‍රජාවන් එක්විය යුතු බව, පරමනාදන් පුනිධසෙල්වි වැනි තරුණියන් විශ්වාස කරති. යාපනය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් වන ඇය, උතුර, නැගෙනහිර සහ වතුකරයේ පාසල්වල සහ අනෙකුත් ප්‍රජාවන්හි ඔසප් වීම සාමාන්‍යකරණය කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා Fems සමඟ අත්වැල් බැඳගත් තරුණියක් වේ

“ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යනු ඔසප් වීම, එදිනෙදා සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස සැලකීම.” යැයි ඇය පැවසුවාය. ශ්‍රී ලංකාව පුරා සිටින දහස් ගණනක් කාන්තාවන්ට, මෙය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් වුවද තවමත් සමාජය විසින් ඔසප් වීම පිළිබඳව කතා කරන විට කාන්තාවන්ව අපහසුතාවයට සහ අගතියට පත් කරනවා අපට දැකගත හැකිය.

“පිරිමි ළමයින් අතර දැනුවත්භාවය ඇති කිරීම ගැහැණු ළමයින් දැනුවත් කිරීම තරම්ම වැදගත් කාරණාවක්” බව පුනිධසෙල්වි පැවසුවාය. “ඔසප් ක්‍රියාවලිය සියලු දෙනා දැනුවත් වූ සහ තේරුම් ගත් කාරණාවක් බවට වග බලා ගැනීම අත්‍යාවශ්‍ය වේ. අපි පාසල්වලට ගොස් මෙම පණිවිඩය බෙදා ගන්නා විට, ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් මෙම මාතෘකාව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන ආකාරය අප දැකගත්තෙමු.”

ඔවුන් මෑතකදී නුවරඑළියේ ග්‍රේට් වෙස්ටර්න් දමිළ පාසලේදී දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර, එහිදී ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් යන දෙපිරිසම සම්බන්ධ වී වැඩසටහනෙන් මේ පිළිබඳව මනාව දැනුවත් වී ඇත.

උතුර නැගෙනහිර සහ වතුකරයේ ප්‍රජාවන් අතර, මෙම විෂය බොහෝ දුරට කතා නොකරන මාතෘකාවක් බව ඇය පෙන්වා දුන්නාය. එහෙත්, Fems සන්නාමයක් ලෙස සිදුකරන මේ කාර්යභාරය මෙම මාතෘකාව නොකඩවා දැනුවත් කිරීම සඳහා ඉවහල් වන බව ඇය පැවසුවාය.

“මෙම කාලය තුළ හිසකෙස් සේදීම සහ ස්නානය කිරීම නොකළ යුතු බව වැඩිහිටි පරම්පරාවන් තවමත් විශ්වාස කරයි. නමුත් ඔසප් වීමේදී සාමාන්‍ය යහපත් සෞඛ්‍ය සනීපාරක්ෂාව පවත්වාගෙන යාම වැදගත් බව කියා දෙන අතර එමඟින් ගැහැණු ළමයින්ට පුද්ගලික සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව පැහැදිලි වේ.” යැයි පුනිධසෙල්වී කියා සිටියාය.

ඔසප් වීම වටා ඇති මිථ්‍යා විශ්වාස පිළිබඳ ගැටළු ඇති බව ඇය පවසන අතර, එහිදී ගැහැණු ළමයින්ට සහ තරුණියන්ට විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමට පීඩනයක් ද එල්ල වේ. ඔවුන් තොරතුරු පැහැදිලි කර දෙන විට, සෑම මසකම සිදුවන සරල භෞතික ක්‍රියාවලියක කිසිදු වරදක් නොමැති බව දැන ගැනීමෙන් ගැහැණු ළමයින්ට සහනයක් දැනෙන බව ඇය තහවුරු කළාය.

“පියවරුන්, සහෝදරයන්, පාසලේ මිතුරන් යන සමස්ත පිරිමි පාර්ශවයම මේ පිළිබඳව දැනුවත් කිරීම අපගේ කාර්යභාරය වේ. මෙම වැඩසටහන තුලින් ඔවුන් දැනුවත්වනවා පමණක් නොව, ඔවුන්ගේ නිවෙස්වල, පාසල්වල, සේවා ස්ථානවල සහ සමාජයේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට කිසිදු ගැටළුවකින් තොරව ඔසප් වීම කළමනාකරණය කිරීමට සහාය වීමේ වැදගත්කම පිළිබඳව ද අවබෝධ වේ.” යැයි ඇය තවදුරටත් පැවසුවා ය.

තරුණ ගැහැණු ළමයින් ක්‍රීඩා සහ වෙනත් ශාරීරික ක්‍රියාකාරකම්වලට මෙම කාලය තුළදී සහභාගී වීමට කැමති වුවද, සාම්ප්‍රදායිකව ගතානුගතික ප්‍රජාවන්හි, ඔසප් වීමේදී මෙම ක්‍රියාකාරකම් දිරිමත් කරන්නේ නැත. දැනුවත් කිරීම සමඟ තහනම් කිරීම් බිඳ දමා සම්ප්‍රදායන් මගින් පනවන ලද කිසිදු සීමාවකින් තොරව තරුණ ගැහැණු ළමයින්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල යෙදීමට දිරිමත් කිරීම ද වැදගත් බව ඇය පැවසුවා ය.

“ඔසප් වීම සහ ඔසප් දරිද්‍රතාවය යන මාතෘකාවන්, සෞඛ්‍යය, අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික සංවර්ධනය සමඟ බැඳී පවතී. තම ඔසප් වීම කළමනාකරණය කර ගත නොහැකි නිසා සෑම මසකම පාසල මඟ හැරෙන ගැහැණු දරුවන්ද සිටිති. ලැජ්ජාවට පත්වන නිසා රැකියාවේදී වේදනාව හෝ අපහසුතාවය සඟවන කාන්තාවන්ද සිටිති. මෙවැනි දේවල් වළක්වා ගත හැක්කේ දැනුවත් කිරීම තුළින් ය. පාසල් සනීපාරක්ෂක පහසුකම් සහ නිෂ්පාදන සඳහා ප්‍රවේශය ලබා දෙන්නේ නම්, ප්‍රජාවන් විවෘතව කතා කරන්නේ නම්, සේවා ස්ථාන ඔසප් අවශ්‍යතාවලට සංවේදී නම්, ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට මෙම කාලය තුළදී සමාජයට මුහුණ දීමට පහසු විය හැකිය. ඔසප් වීම සහ ඔසප් දරිද්‍රතාවය සනීපාර්ක්ෂක තුවා සම්බන්ධ කාරණාවන් පමණක් නොවේ. එය කාන්තාවන් හට දක්වන ගෞරවය පිළිබඳ කාරණාවක් වේ” යැයි ඇය පැවසුවාය.

“ඔසප් වීම සඟවන්නට අවශ්‍ය නොවන මාතෘකාවක් ලෙස සමාජය තුල ගොඩනැගීමට අප උත්සාහ කළ යුතුය” ‍යැයි ඇය තවදුරටත් කියා සිටියාය. “කවුරුත් කාන්තාවන් දිහා වෙනස් විදිහට බලන්නේ නැතුව, ගැහැණු දරුවකුට අපහසුතාවයට පත් නොවී පෑඩ් එකක් මිල දී ගන්න පුළුවන් තැන, පිරිමි ළමයින් තේරුම් අරන් සහයෝගය දෙන තැන, මේක සාමාන්‍ය සෞඛ්‍ය ක්‍රියාවලියක් කියලා සෑම කෙනෙක්ම ඉගෙන ගන්න තැන, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සමානව අගය කරන සමාජයකට අපි අපේ සමාජය ඔසවා තබන්නට අවශ්‍ය වේ” යැයි ඇය කියා සිටියාය. ඔසප් සනීපාරක්ෂාව ඇතැම් මිනිසුන්ට කුඩා ප්‍රශ්නයක් මෙන් පෙනුනත්, එය සමානාත්මතාවය සහ ගෞරවය වැනි විශාල කාර්ණාවන් මත බැඳී පවතින මාතෘකාවක් බවද, ඔසප් වීම දැනුවත් කිරීම කෙරෙහි සංවාද ගොඩනැංවීම ගැන Fems වැනි සන්නාමවලට අපි ස්තූතිවන්ත වන බවද ඇය අවසාන වශයෙන් පැවසුවාය.