PCOS පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය(Polycystic ovary syndrome) යනු කුමක්ද?

pcos

පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (PCOS) යනු කාන්තාවන් තුළ ඇතිවන හෝමෝන අසමතුලිතතා තත්ත්වයකි. කාන්තාවන් කොපමණ සංඛ්‍යාවකට PCOS ඇතිදැයි නියත වශයෙන් දැන ගැනීම අපහසුය. නමුත් සෞඛ්‍ය සේවා දත්තවලට අනුව එය ඉතා සුලභ යැයි සිතන අතර ලෝකයේ සෑම කාන්තාවන් 100 දෙනෙකුගෙන් හත් දෙනෙකු තුළම මෙම තත්වය දැකිය හැකිය.

PCOS හි ලක්ෂණ:

  • අක්‍රමවත් ඔසප් වීම් හෝ ඔසප් වීම සිදු නොවීම – මෙයින් අදහස් වන්නේ ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවීම සහ නිසියාකාරව ඩිම්බ මෝචනය නොවීමය.
  • ඇන්ඩ්‍රොජන් වැඩිවීම – ඔබේ ශරීරයේ “පිරිමි” හෝමෝන ඉහළ මට්ටමක පවතින අතර එමඟින් මුහුණ හෝ ශරීරයේ අධික ලෙස රෝම වර්ධනය වීම වැනි ශාරීරික සංඥා ලබා දෙනු ඇත.
  • පොලිසිස්ටික් ඩිම්බකෝෂ – ඔබේ ඩිම්බකෝෂ විශාල වී ඒවා මත දියර පිරුණු බිබිළි විශාල ප්‍රමාණයක් තිබීම
  • හිසකෙස් තුනී වීම හා ගැලවී යාම
  • සිරුරේ බර වැඩිවීම
  • මුහුණේ හෝ සිරුරේ අධික ලෙස රෝම වර්ධනය වීම
  • කුරුලෑ ඇති වීම
  • ගෙල මහත් වී කළු පැහැ ගැන්වීම
  • භාවමය ගැටලු, සාංකාව හා විෂාදය වැනි තත්ත්වයන්
  • ගැබ් ගැනීමට අපහසු වීම
  • ගබ්සා වීම
  • දෙවෙනි කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමේ ඉහළ අවදානම

කෙසේනමුත්, මෙම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර, කාලයත් සමග ද රෝග ලක්ෂණවල වෙනස්කම් සිදු විය හැකිය.

PCOS ඇතිවීමට හේතුව කුමක්ද?

PCOS ඇතිවීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් නොදන්නා නමුත් එය බොහෝ විට පාරම්පරික ජානවලින් ඇති විය හැකියි. මෙම තත්ත්වය ඇති කාන්තාවන්ගෙන් විශාල පිරිසට PCOS රෝගී තත්වය ඇති මවක්, ඥාතීවරියක් හෝ සහෝදරියන් සිටීමට ඉඩ ඇත. එමෙන්ම, එය ශරීරයේ අසාමාන්‍යය හෝමෝන මට්ටම් සහ ඉන්සියුලින් ඉහළ යාම ද මෙම තත්වය ඇතිවීම හා සම්බන්ධ වේ. ඉන්සියුලින් යනු ශරීරයේ සීනි මට්ටම පාලනය කරන හෝමෝනයකි. PCOS ඇති බොහෝ කාන්තාවන්ගේ ශරීරය ඉන්සියුලින් ක්‍රියාකාරිත්වයට ප්‍රතිරෝධී වන අතර මෙය මඟහරවා ගැනීම සඳහා ඉහළ ඉන්සියුලින් ප්‍රමාණයක් නිපදවීමක් සිදුවේ. මෙය ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන නිෂ්පාදනය හා ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට දායක වේ. එමෙන්ම, අධික බර හෝ තරබාරු වීමෙන් ද ඔබේ ශරීරය නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය වැඩිවේ.

PCOS ඇත්දැයි දැනගන්නේ කෙසේද?

වෛද්‍යවරයා ඔබේ සිරුර සහ රෝග ඉතිහාසය ගැන අවධානය යොමු කරන අතර, රුධිරය පරීක්ෂාව සහ ‘අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (ultrasound scan)’ පරීක්ෂණයක් ද සිදු කරනු ඇත. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කියන්නේ කිසිම සංකූලතා නැති පරීක්ෂණයක්. ඩිම්බකෝෂවල මෝරලා නැති, පිට වී නැති බිත්තර බිබිළි විදිහට තිබෙන ආකාරය මේ පරීක්ෂණයෙන් බලා ගන්න පුළුවන්. සමහර විට ඩිම්බකෝෂ මහත් වෙලා තියෙනවා නැත්නම් වතුර පිරිණු ගැටිති වගෙත් තියෙන්න පුළුවන්.

අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් අපිට ගොඩක් දුරට මේ රෝගී තත්වය විනිශ්චය කරන්න පුළුවන්, හැබැයි ඒක මතම තීරණයකට එන්න අපහසුයි. අපිට අනික් ලක්ෂණත් අනිවාර්යයෙන් සොයා බලන්න වෙනවා. හෝමෝන් පරීක්ෂණයක් ද සිදු කරන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ඉන්සියුලින් තත්වයේ බලපෑම නිසා ඉන්සියුලින් පරීක්ෂණයක් ද සිදු කර මේ රෝගය සොයා ගන්න පුළුවන්. බුබුලු ලෙස පෙනෙන ගැටිති යම් ප්‍රමාණයක් තිබීම ගැටලුවක් නොවන අතර, ඔබේ වයසට සාපේක්ෂව වැඩිපුර ප්‍රමාණයක් තිබීම මෙම රෝගී තත්වය යැයි සැක කිරීමට ඉඩ ඇත.

PCOS සුව කළ හැකිද?

මෙය සුව කළ නොහැකිය. නමුත් එය පාලනය කර ගත හැකිය. ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් ඔබ වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ගැනීම ඉතා වැදගත්ය. එම උපදෙස් අනුව රෝගය පාලනය සඳහා යම් පියවර අනුගමනය කළ හැකිය:

  • ඔබ උසට සාපේක්ෂව ශරීරයේ බර වැඩි නම්, එය අඩුකර ගැනීමෙන් රෝග ලක්ෂණ අවම කර ගත හැකිය. ඒ සඳහා නිසි ව්‍යායාම සහ ආහාර පාලනය අත්‍යවශ්‍ය වේ.
  • අක්‍රමවත් ඔසප් වීම, හෝමෝන උපත් පාලන පෙති හා වෙනත් ඖෂධ මගින් කළමනාකරණය කළ හැකිය. නමුත්, මෙය ලබා ගත යුත්තේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණි.
  • ශරීරයේ අධික රෝම ඉවත් කිරීමේ ක්‍රම භාවිත කළ හැකිය. උදාහරණ: වැක්ස් කිරීම, ලේසර් කිරීම හෝ වෙනත් රෝම ඉවත් කිරීමේ ක්‍රම. එමෙන්ම, මෙය ඖෂධ මගින්ද පාලනය කළ හැකිය.
  • අධික ලෙස හටගන්නා කුරුලෑ බිබිලි ද ඖෂධ මගින් පාලනය කළ හැකිය.
  • නිරෝගීමත් ජීවන රටාවක් අනුගමනය කිරීම, සමබර ආහාර වේලක් නිසි වෙලාවට ගැනීම.

මෙය ‘වඳ’ තත්වයක් ද?

PCOS රෝගී තත්වය සහිත කාන්තාවෝද එවන් තත්ත්වයක් නොමැති කාන්තාවන් ලබන දරුවන් ගණනම ලබති. එහෙත් ගර්භණී වීමේ දී ඔවුනට අතිරේක වෛද්‍ය උපදෙස්, ප්‍රතිකාර අවශ්‍යය වන බව වෛද්‍යවරු පවසති. එහෙයින්, රෝගය කළින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්ය.

ආයුර්වේද උපදෙස් මොනවාද?

  • ඩිම්බ නොමේරීමේ රෝගයෙන් වැලකීමට පිළියම් වශයෙන්,
  • දිනපතා සමබර ආහාර වේලක් ගැනීම
  • ආහාර වේල සදහා වැඩිපුර එළවළු, පළා වර්ග සහ පලතුරු වර්ග එකතු කරගැනීම
  • දිනපතා ව්‍යායාම කිරීමෙන් ශරීරයේ උසට සරිලන බරක් පවත්වා ගැනීම
  • සතියකට වරක් වත් කොල කැද පානය කිරීම
  • හැකිතරම් උෂ්ණ, අම්ල හා විදාහී ආහාරවලින් වැලකීම (ඉස්සෝ ,දැල්ලෝ ,බල මාලු, අන්නාසි, අච්චාරු වැනි)
  • ශරීරය සිසිල් කරන ආහාර පාන ගැනීම
  • හැකිතරම් මානසික නිදහස්බව සහ සුවතාවය පවත්වා ගැනීම
  • ක්ෂණික ආහාර සහ පෙර පිසින ලද මස් වර්ග ආහාරයට ගැනීම හැකිතරම් සීමා කිරීම

එක් එක් පුද්ගලයා සඳහා විශේෂිතවූ චිකිත්සා පද්ධතියකින් සමන්විත ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර පවතිනවා. ඒ අතර එක් එක් පුද්ගලයගේ ප්‍රකෘතිය, දෝෂ තත්ත්වය සහ රෝග ලක්ෂණ අනුව සිදුකරන මෘදු ශෝධන ප්‍රතිකාර, නස්‍ය ප්‍රතිකාර, වස්ති ප්‍රතිකාර, ශරීරයේ අග්නි දීපනය සදහා වන ප්‍රතිකාර, හෝමෝන අසමතුලිතතාවය නිවැරැදි කිරීම සඳහා ඖෂධ ලබාදීම, ඩිම්බ මේරීම සදහා ශරීරය තුළට ඖෂධ ලබා දීම හා බාහිරින් සිදුකරන ප්‍රතිකාර විශේෂ වෙනව.