Period Poverty
රියානා ද මෙල්, අවුරුදු 23ක තරුණියක් වන ඇය අන් අයට උදවු කිරීම තමන්ගේ ජීවිතයේ වැදගත් කොටසක් කරගෙන තිබේ. කොළඹ අගරදගුරු පදවිය යටතේ ඇති මිදුමා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන ඇය මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහි වූවන්, වෙනත් ආපදා වලින් දිවි ගලවාගත් අය, අඩු වයසින් මව් පදවිය ලබපු දරුවන් හා වෙනත් දුෂ්කරතා සඳහා මුහුණ පෑ දරුවන් වෙනුවෙන් තම කාලය කැප කර සිටී.
කොළඹ බිෂොප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙන ඇය පාසලේදීම අන් අයට උදවු කිරීම සහ සමාජ සත්කාර පිලිබඳ මනා අවබෝධයක් ලබා ගත්තාය. මානසික සෞඛ්‍යයට මුල්තැන දෙමින් තම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති ඇය මානසික සෞඛ්‍යය පිළිබඳව අධ්‍යනය කර එම ක්ශේත්‍රය මුල් කරගෙන තම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබේ. ඔසප් දරිද්‍රතාවය පිලිබඳව විශේෂ සැලකිල්ලක් ඇය දක්වන්නේ ශ්‍රී ලංකාවේ ගැහැනු දරුවන් ඒ සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටළු මනා ලෙස තේරුම්ගෙනය.
සනීපාරක්ශක තුවා ලබාගැනීම මෙන්ම ඔසප් වීම සම්බන්ධයෙන් විවිධ ගතානුගතික මත වලට මුහුණ දෙන මෙම දරුවන්ගේ මානසික තත්වයන් ඇය මනාව තේරුම් ගෙන තිබේ. “ඔසප් වීම ජීවිතයේ සාමාන්‍යය දෙයක් වුවද දැනුම නොමැතිකම හා පාරම්පරික සිරිත් නිසා එය අසාමාන්‍ය තත්වයක් ලෙස බොහෝ ප්‍රජාවන් විශ්වාස කරයි. බොහෝ ගැහැනු දරුවන් මෙම කාලය තුලදී පාසල් නොයන බවත් ඔසප් වීම පිලිබඳව බියට පත්වන බව සත්‍යයක් බවත්” ඇය කියා සිටී.
වසර 18 දී සෞඛ්‍යය විද්‍යාව පිළිබඳව ඊඩිත් කොවන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රායෝගික දැනුම ලබාගනිමින් ඇය මහජන සේවයට කැපවීමක් පෙන්නුම් කළාය. ඇය මනෝවිද්‍යාව හා උපදේශක සේවය පිළිබඳව උපාධිදාරිණියක් වන අතර මානසික සෞඛ්‍යය පිළිබඳව NIBM ආයතනයෙහි තම උපාධිය හදාරා ඇත. මීට අමතරව ඇය ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ මාර්ගගත පාඨමාලාවක් සම්පූර්ණ කර තිබේ. එමෙන්ම ඇය පාසල් රැසක විවිධ පාඨමාලා තුලින් මෙන්ම මානසික සෞඛ්‍ය අංශ රැසක සේවය කරමින් තම දැනුම ලබාගෙන තිබේ. තම කාර්‍යභාරය තුලින් අන් අයට සේවයක් කරමින් අන් අයගේ වටිනාකම් ජීවිතයට එකතු කරගනිමින් සමාජයේ කටහඬක් නොමැති අය වෙනුවෙන් කටහඬක් ලබාදීමට ඇය බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාව වැනි රටක ඔසප් දරිද්‍රතාවයට මුහුණ දෙන ගැහැණු දරුවන් සංස්කෘතික හා යල්පැන ගිය මත රැදී තිබෙන ජීවන රටාවකට මුහුණ දෙන බව ඇය විශ්වාස කරයි. මෙය ගම්බද පළාත් වල පමණක් නොව කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රදේශවලටද එකසේ බලපායි.
අධ්‍යනයන්ට අනුව ශ්‍රී ලංකාවේ ගෑනු ළමයින්ගෙන් 60% පමණ ඔසප්වීම පිළිබඳව ලැජ්ජාවට පත්වන බව පෙනීයයි. ෆෙම්ස් ශ්‍රී ලංකා සහ ඇය පදනම විසින් දියත්කර ඇති දැනුම ලබාදීමේ ව්‍යාපෘති තුලින් ශ්‍රී ලංකාව හරහා පාසල් රැසක 2021 සිට සිදුකරමින් පවතින දැනුවත් කිරීමේ වැඩසටහන් වැදගත් කාර්‍යභාරයක් සිදුකරන බව රියානා කියා සිටියි.
ඔසප් දරිද්‍රතාවය අවම කිරීමේ වැඩසටහනට ඇය පිවිසෙන්නේ NIBM විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා සංගමයේ සභාපති ලෙස කටයුරු කරන කාලයේ බව ඇය කියයි. සෞඛ්‍ය වෘත්තිකයන් රැසක් සහ ෆෙම්ස් ශ්‍රී ලංකා ආයතනය සමග මෙම ගැහැණු දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන දියත් කිරීම පිලිබඳව ඇය සතුටු වන්නීය.
මෙම ව්‍යාපෘතිය 2025 මැයි 28 වන දින බස්නාහිර පළාතේ රත්නාවලී බාලිකා පාසලේ පැවති උත්සවයකින් ආරම්භ විය. මේ සඳහා රත්නාවලී, ක්ලිෆ්ටන් බාලිකා පාසල සහ ගාල්ල ඕල් සේන්ට්ස් බාලිකා පාසලේ සිසුන් 200 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූහ. FEMS ශ්‍රී ලංකා විසින් සනීපාරක්ෂක තුවා පැකට් 200 ක් මෙම අවස්තාව වෙනුවෙන් නොමසුරුව පරිත්‍යාග කර තිබේ.
මෙම අවස්ථාවට සූතිකා පුහුණු හෙද නිලධාරිනියක් වන දිලාෂිනි බුවනායක මහත්මිය, ඔසප් සනීපාරක්ෂාව සහ ශාරීරික සෞඛ්‍යය පිළිබඳව සිසුවියන්ව දැනුවත් කළාය. මනෝවිද්‍යාඥ ආචාර්ය සමෘද්ධි සේනානායක සහ වෙනුකා අබේරත්න මහත්මිය ඔසප් වීම හා සම්බන්ධ චිත්තවේගීය හා මානසික සෞඛ්‍ය මාතෘකා හරහා සිසුන්ට විශේෂ දැනුමක් ලබාදුන්හ. මෙම වැඩසටහනට සිසුන් ක්‍රියාශීලීව සම්බන්ධවූ අතර වැදගත් ප්‍රශ්න අසමින්, තම අත්දැකීම්ද බෙදාගැනීමට ඉදිරිපත් වූහ.
මෙම වැඩමුළුවේ වැදගත් අවස්ථාවක් වූයේ “ලැජ්ජාවකින් තොරව මේ දේවල් සාකච්ඡා කිරීම සතුටක්” යැයි ශිෂ්‍යාවක් පැවසූ විටය. එම ප්‍රකාශය මෙම වැඩසටහන නිසිලෙස පිළිඹිබු කිරීමක් බව රියානා කියා සිටී. මන්චි ශ්‍රී ලංකා සමාගමද මෙම අවස්තාව සඳහා ආහාර සපයමින් දායකත්වය ලබාදුන් බව ඇය කියා සිටියාය.



තරුණ ගැහැණු දරුවන් තුල ඔසප් වීම පිළිබඳව ඇති ආතතිය අවම කිරීම මෙන්ම ඔසප් කාලය තුල ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීම් ග්‍රාමීය ප්‍රදේශවලටද රැගෙන යාමට ඇය බලාපොරොත්තු වේ. මේ තුලින් සිසුන් 2500 කට මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට ඇය බලාපොරොත්තු වන අතර දැනටමත් මේ සම්බන්ධයෙන් පාසල් ප්‍රජා නායකයන් හා වෙනත් පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බව වැඩිදුරටත් අවධාරණය කළාය.
2021 සිට ග්‍රාමීය ප්‍රදේශවල දැනුවත් කිරීමේ වැඩසටහන් ෆෙම්ස් ශ්‍රී ලංකා විසින් පවත්වාගන යන අතර ඉදිරියටත් ඔවුන් මෙන්ම උපදේශකයන් හා වෘත්තිකයන් සමග එක්වී මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට ඇය බලාපොරොත්තු වේ. NIBM විශ්ව විද්‍යාලයේ විරාන් පෙරේරා, ශඩ්නි විජේවර්ධන, ඔශානි පිටදෙනිය යන මහත්ම/මහත්මීන්ට තමන් ස්තූතිවන්ත වන අතර වෛද්‍ය සමීර විජේසිරි මහතාටද විශේෂයෙන් ස්තූතිවන්ත වන බව ඇය කියා සිටියි. ඇයගේ වැඩමුළුවට ෆෙම්ස් ශ්‍රී ලංකා ආයතනය විසින් ලබාදුන් උපකාර පිළිබඳව ඇය ස්තූතිවන්ත වේ. පැරණි රටාවන් වන ඔසප් කාලවලදී රෙදි භාවිතය වැනි ගතානුගතික සිරිත් වලින් මිදී ඔසප් සෞඛ්‍යය පිළිබඳ නිසි දැනුම ලබාදීම වැදගත් බව ඇය කියා සිටියි. මෙම වැඩසටහන සඳහා විශ්වවිද්‍යාලයේ දායකත්වය ඇය විශේෂයෙන්ම මතක් කළාය.
ඇය විශ්වාස කරන්නේ ඔසප් දරිද්‍රතාවය අවම කිරීමට දැනුවත් කිරීම, මානසික සෞඛ්‍ය, ස්ත්‍රී/පුරුෂ අසංතුලිත බව හා චිත්තවේගීය සහයෝගය වැදගත් වන බවයි. මෙය අවසන් කිරීමට අන් අය මුහුණ දෙන ගැටළු හා ඔවුන් ශක්තිමත් කිරීම තුළින් ඔසප් වීම සාමන්‍ය බව ඒත්තු ගැන්විය හැකි බව ඇය කියා සිටී. පාසල් විසින් ගැහැණු දරුවන්ට හා පිරිමි දරුවන්ට ඔසප් වීම පිළිබඳව දැනුවත් කල යුතු අතර සනීපාරක්ෂක තුවා ලබාදීම මෙන්ම වැසිකිළි පහසුකම් මෙන්ම පුහුණු ලත් ගුරුවරුන් සිටීම වැදගත් වේ. තම ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති තුලින් මෙම වෙනස ඇති කල හැකි බව ඇය විශ්වාස කරයි.