කාන්තා දිනයෙන් අපට යමක් ලැබුණාද?

women's day

Women’s Day – මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්‍රරකාශයට පත් කොට ඇත.

ස්ත්‍රීන්ට සිදුවන මදි පුංචිකම් ඇරැඹෙන්නේ ළදැරියක ලෙස උපතේ පටන්මයි. ඉන්දියාව වැනි රටවල තවමත් දෑවැදි ප්‍රශ්නය වැනි හේතු මත දැරියන් උපදින්නටත් පෙර ගබ්සා සිදුකර මරණයට පත් කරනවා. දැරියන් පවුලට බරක් මිස යහපතක් නොවන බව සිතන ගෝත්‍රික මිනිසුන් තවමත් ඇතැම් විට අපේ රටේත් ඉන්නවා. පිරිමි දරුවන්ට මුල් තැනදීම පවුල තුළ හොඳම ආහාර කොටස පියා සහ පුතුනට බෙදා දී මව සහ දූවරුන් ඉතිරිය බෙදා ගැනීම තවමත් අපේ රටේ බොහෝ පවුල්වල දක්නට ලැබෙනවා.

අධ්‍යාපනය ලබා දීමේදී බොහෝ විට ගැහැනු ළමයින්ටත් සමාන අවස්ථා හිමි වුවත් රැකියා ලබා ගැනීමේදී තවමත් අපේ රටේ පිරිමින්ට හොඳම සහ මූලිකව අවස්ථා ලැබෙනවා. රැකියාවලට බඳවා ගැනීමේදි ප්‍රසූත නිවාඩු ලබාගැනීම, රාත්‍රි වැඩ මුර වැනි හේතු නිසා කාන්තාවන්ට අවස්ථා අහිමිවෙනවා.

වගකීම් පැවරීමේදී හා උසස්වීම් ලබාදීමේදී තවමත් අපේ රටේ ඇතැම් තැනක පිරිමින්ට මුල් තැනක් ලබාදෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හේතුවෙන් සිදුවන මෙවැනි වෙනස්කොට සැලකීම්වලට එරෙහිව හඬ නැඟීම පක්ෂග්‍රාහීත්වයට එරෙහිවීම ගබ්සා සඳහා සමූහිකව එක්ව පිළියම් සෙවීමත්, පොළෝ මට්ටමේ සිට උසස්ම තත්ත්වය දක්වා එක විට සමාන්තරව සිදුවිය යුතු බව මෙවර ජාත්‍යන්තර කාන්තා දින සංවිධායකයන් පෙන්වා දෙනවා.

කාන්තාවන් සඳහා සම අයිතීන් ඉල්ලා ලොව පුරා කතුන්, වාමාංශික ව්‍යාපාර හා කම්කරු සංවිධාන සමග සම්බන්ධ වෙමින් අරගල කරන්නට පටන් ගත්තේ නවසිය 70-80 දශකවලදී කාන්තාවන්ටත් පිරිමින්ට සමාන වැටුප් තල සමාන ආර්ථික අවස්ථා, සමාන නීතිමය අයිතිය ළමයින් සඳහා සහනාධාර ලබා ගැනීම මෙන්ම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීම වැනි ඉල්ලීම් දිනා ගැනීම ඔවුන් ගේ කාන්තා දින සැමරුම්වල මූලික පරමාර්ථයක් වුණා.

ලෝකයේ බොහොමයක් රටවල් කාන්තා දිනය (Women’s Day) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. කාන්තාවන් ගේ අයිතිවාසිකම් උදෙසා හඬක් නගන්නට කාන්තාවන් සඳහා නිසි තැන ලබා ගන්නට අවධානය යොමු විය යුත්තන්ගේ අවධානය ඒ සඳහා යොදා ගැනීම සඳහාත් කාන්තාවන් සවි බල ගැන්වීම සඳහාත් මං පෙත් විවර කරන්නට ක්‍රියාශීලිව කටයුතු කළ යුතු කාර්යක්ෂම උද්යෝගීමත් දිනයක් ලෙස අන්තර්ජාතික කාන්තා දිනය සැමරීම වඩා සුදුසුබව ලෝකයේ බොහෝ රටවල තීරණය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පවත්වන ලද කාන්තා දින (Women’s Day) උත්සවයන්හි කැපී පෙනෙන ලක්ෂණක් වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් කාන්තාවන් ජාති භේදයකින් තොරව මෙම රැස්වීම් වලට සහභාගීවීමය. කාන්තා ගැටලු විසඳීම සඳහා මෙම ජාතීන් අතර ඇත්තේ ජාති භේදයකින් තොර බලවත් සහයෝගීතාවයකි.

ශ්‍රී ලංකාවේ කාන්තා සමානාත්මතාවය ගැන කතා කිරීමේදී පැහැදිලි වන්නේ, එම තත්ත්වයන් ලබාගැනීම සඳහා නීති ප්‍රතිපාදන, ජාතික සැලසුම්, ව්‍යාපෘති හා වැඩසටහන් ආයතන, ප්‍රතිෂ්ඨාපනය වී තිබීමය. එය වර්ෂ ගණනාවක් තුළ කරන ලද ප්‍රයන්තයන්හි ප්‍රතිඵලයකි. එහෙත් අපේක්ෂිත ලෙස ඒවා ක්‍රියාත්මක නොවීම හා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි වී ඇත. මේ ගැටලු පිළිබඳව සංවේදී ක්‍රියාකරුවන් සිටිය යුතුය. මෙය රාජකාරියක් පමණක් නොව, කැපවීමෙන්. ළඟා කර ගත යුතු ඉලක්කයන්ය. මෑත කාලයේ එසේ සාර්ථක ප්‍රයන්තයක ප්‍රතිඵලයක් වූයේ පාර්ලිමේන්තු කාන්තා නියෝජනය 22% දක්වා ඉහළ යාමය.

කෙසේ වූවද කාන්තා දිනයේ දී (Women’s Day) රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් කාන්තාවන් බලසතු කිරීම පිළිබඳව සංවිධානය කරන ක්‍රියාකාරකම් එදිනට පමණක් සීමා නොකර, එදින ලබන උත්තේජනය වර්ෂය පුරා රඳවා ගත හැකි වන්නේ නම් අපේක්ෂිත ඉලක්කයන් ප්‍රමාණවත්ව සපුරා ගත හැකිය.