ඇයට දැනෙන්න ආදරය කරන්න

ඇයට දැනෙන්න ආදරය කරන්න

 

එකතු වෙන්න හීන මැවිව කල්ප කාලයක්

එකතු වෙලා ඉන්න වෙන්නෙ අල්ප කාලයක්

ඕන වෙන්නෙ නෑ ගිලෙන්න පෙම් තටාකයක්

මට ඕන වෙන්නෙ ගතු කියන්න පුංචි කාලයක්

 

බස් රථයක ගමන් කරද්දී මට ඇසුණු මේ ගී පද යළිඳු නිතැතින්ම සිහියට නැගුණේ එක්තරා ඉරු දිනක සවස සිදු වූ  සිදු වීමක් හේතුවෙනි. මා වෙත පැමිණි තරුණ යුවලක්  ඔවුනොවුන් අතර ගැටලුවක් ඇති වී ඇති බවත්, ටිකක් කතා කිරීමට අවශ්‍ය බවත් පැවසීය.

 

ටික කලක් යද්දි එයා වෙනස් බව දැනුණා

 

සැමියාට අනුව බිරිඳ කලක සිට කෙමෙන් කෙමෙන් වෙනස් වී ඇත. අන්තර්ජාලය ඇසුරෙහි වෙනත් සබඳතාවක් පවත්වන බවට ද සැකයක් ඇත. තමා අතින් කිසිඳු අඩුපාඩුවක් නොවන බවත්, මත් ද්‍රව්‍ය, මත්පැන් භාවිතා නොකරන බවත්, වෙනත් කුමන හෝ වරදක් සිදුව නැති බවත් සැම අතින්ම නිවැරදි බවත් ඔහු බවසයි.

අවුරුදු 22ක පමණ තරුණ බිරිඳ මාස 3ක පමණ ගැබිණියක් වූ අතර, ඇය පළමුව කළේ ඉකි ගසමින් හැඩීමයි. තමන් සැමියා සිතන ආකාරයේ වරදක් නොකරන බවත්, ඇය අතින් ද දැනුවත් ව කිසිදු වරදක් සිදු නොවන බවත්,  සැමියා ද ආහාරපාන ආදියෙන් කිසිඳු අඩුවක් නොකරන  බවත් ඇය පැවසීය.

එසේ නම් කුමක් සිදු වීද? මේ විරසකයට හේතුව කුමක් විය හැකිද? දෙනොම වැරදි නැත. තමන් හරි යයි දෙදෙනාම  නම් ඔවුන්ට වැරදුණේ කොතනද? මම තනිව ඇය සමඟ කතා කළෙමි.

 

ඇයට ආදරය දැනෙන්නෙ නැත්තෙ ඇයි?

“මිස් මම නෙමේ වෙනස් වුණේ, එයා දැන් හරිම වෙනස්”. ටික වෙලාවකට පසු ඇය පවසයි. “අපි බැන්ඳෙ යාලු වෙලා. දැන් අවුරුදු 5ක් වෙනවා. මට එයාගෙ ආදරේ දැනෙන්නෙ නෑ”. ඇය පවසයි.

“දැනෙන්නෙ නෑ කිව්වෙ”

“ඒ කිව්වෙ එයා මං ගැන බලන්නෙ නෑ. එයාට ඕනෙ සල්ලි හම්බ කරන්න විතරයි. හැමදාම වැඩ වැඩ වැඩ. මං හැමදාම ගේ ඇතුළෙ තනි වෙලා. මං ආසයි එයා එක්ක ටිකක් නිදහසේ කතා කර කර ඉන්න ඉස්සර වගේ. අපි දෙන්න විතරක් කෙකාහේ හරි ඇවිදින්න යන්න. චිත්‍රපටියක්, නාට්‍යයක් බලන්න යන්න, මට ඕනෙ ජීවිතේ විඳින්න. අපි දැන් මැෂින් වගේ කිසිම හැඟීමක් දැනීමක් නෑ. කනවා බොනවා. ඔහේ ජීවත් වෙනවා.ලොකු වෙලාවක් ඕන නෑ මට. දවසකට විනාඩි දහයක්වත් අඩුම තරමෙ, කන්න, බොන්න,අඳින්න දුන්නට ආදරේ දැනෙන්නෙ නෑ.මට ඉස්සර වගේ දැනෙන්න ආදරේ කරන්න කියන්න ඒ ඇති”.

ඒ ඇයගේ කතාව පමණක්ම නොවේ.තවත් දහසකුත් පෙම්වතියන්ගේ බිරින්දෑවරුන්ගේ කතාවයි. ඇයට තම දවසේ කටයුතු පිළිබඳ හැඟීම් ඔහුට පැවසීමට, ඒවා බෙදා ගැනීමට අවස්ථාව ඕනෑ වෙයි. ඇතැම් විට ඇයට අවශ්‍ය  වන්නේ හොඳින් සවන් දීම පමණක් විය හැකිය. එම කාලය විනාඩි 5- 10ක් වුවත් ප්‍රමාණවත් විය හැකිය. ඒ සුළු මොහොත දෙනොගේ බැඳීම් අලුත් කරනු ඇත.එකිනෙකා කෙරෙහි පවතින අනවබෝධය දුරු කරනු ඇත.

ඇයට අවධානය ආදරය අවශ්‍ය ඇයි?

ඇය සිත් තැවුලට පත්ව සිටින විට, කාර්යයන් රැසක බර සිතින් දරා සිටින විට, කැළඹීමට පත්ව සිටින විට, වෙහෙසට පත්ව  සිටින විට හෝ බලාපොරොත්තු සුන් වූ අවස්ථාවක ඇයට බොහෝ සෙයින් අවශ්‍ය වන්නේ සරල සහයෝගීතාවයකි.තමා තනිවී නැතැයි යන හැඟීම ඇයට දැනීමට අවශ්‍ය වේ. ඇය ආදරය ලබන්නියක බව දැනීම වුවමනා වේ. ඔහුගේ සහකම්පනය, අවබෝධය, විශ්වාසය, කරුණාව ඇය නිරන්තර බලාපොරොත්තු වේ.

ඇය ගෘහණියක්, මුදල් උපයන්නියක්, පවක්,බිරිඳක්,දුවක්,පෙම්වතියක්,සමාජ සේවිකාවක් ආදි වශයෙන් පවුල තුලත් සමාජය තුලත් සුවිශාල මෙහෙයක් හා කැප කිරීමක් සිදු කරනු ලබන්නීය. ඇතැම් විට දෛනික කාර්යයන්ගෙන් වෙහෙසට පත් ඇයට නිවාඩුවක් ඕනෑ විය හැකිය. තමා පිළිබඳ සිතන්නට නමි තමා කෙරෙහි අවධානය යොමු කරන්නට අවකාශ තිබිය යුතුය. මෙහිදී චිත්වේගික සහයක් ලබා දීමට කෙනෙක් සිටීම අත්‍යවශ්‍ය වේ. ඔහුට ද එය එසේමය. එබැවින් දෙදෙනා එක්ව ගත කරනා කාලය තුල ඔවුන් දෙදෙනාට මෙන්ම සමස්ත පවුලටම සතුට, සැනසීම, මානසික සුවය ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

ආදරය කඳවුරු ගිනිමැලයකට සමානය.

ආදරය කඳවුරු ගිනිමැලයකට සමානය. පත්තු කල විගස හොඳින් රස්නය දැනේ. ආලෝකය හොඳින් පවතී. නමුත් එයට වුවමනා දර ,පොල්කොළ නොදමන්නේ නම් ගිනිමැලය ටිකෙන් ටික නිවී යනු ඇත. ආදරය පටන් ගත් කාලයේ දල්වන ලද ආදර ගිනිමැලය ජීවිත කාලය පුරාම එකසේ දැල්වීමට අවශ්‍ය දර පොල්කොළනිරන්තර දැමිය යුතුය. ඒ සඳහා මහා විශාල දේ කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඉතා කුඩාම දෙයකින් වුව ද විසල් වෙනසක් සිදු කල හැකිය. ඒ පුංචි දේවල් අතර නිවසට පැමිණි පසු ඇයව ආදරයෙන් ස්පර්ශ කිරම, සෑම දිනකම විනාඩි 20ක් වත් ඇයට අවධානය ලබා දීම.(පුවත් පත, රූපවාහිනිය, දුරකතනය යනාදියෙන් ඉවත් වී) ප්‍රශංසා කිරීම, ජීවිතයේ සුවිශේෂී අවස්ථා කුඩාවට හෝ සැමරීම,(විවාහ වූ දිනය, උපන් දින, වාලන්ටයින් දිනය ආදී…) ඇය/ඔහු වෙනුවෙන් ඉදහිට හෝ කුඩා ත්‍යාගයක් මිළඳී ගැනීම, නිවසේ වගකීම් දෙදෙනා අතර බෙදා ගැනීම(විශේෂයෙන් ම දරුවන්ගේ කටයුතු සහ ගෙදරදොර කටයුතු) නිවසේ වැඩ කටයුතු අවසන් කර දෙදෙනා එක්ව නින්දට යාම වැනි දේවල් ඔහුට ඇය වෙනුවෙන් කල හැකිය.

මිනිසෙක් තම බිරිඳ වෙනුවෙන් කුඩා කුඩා කැපකිරීම් කිරීම ඉන්ද්‍රජාලික (මැජික්)  ක්‍රියාවකි. ඉන් ඇයගේ ආදර ටැංකිය පිරෙනු ඇත. ඇය ඔහුව අගය කරනු ඇත.ඔහුට ස්තූති කරනු ඇත.දෙදෙනාම සතුටින් ගත කරන විට පවුල තුල සතුට සමඟිය නිරන්තරයෙන් ඇති වේ. 

 

පුංචි පුංචි දේවල් වලින් ආදර ටැංකිය පුරවන්න

ආදරය කල කාලයේ සේම “මම ඔයාට ආදරෙයි” යන වචන හැකි සෑම විටම මුමුණන්න. පුංචි පුංචි අතපසුවීම් වලට සමාව ගන්න. ආදරයෙන්,විශ්වාසයෙන්, අගය කිරීමෙන් නිරන්තරයෙන් ආදර ටැංකිය පුරවන්න. දැනෙන්න ආදරය කරන්න. ඉතා කුඩා කුඩා දේවලින් ජීවිතයේ ලොකු වෙනස් අත්විඳින්න. එවිට ජීවත් වන බව ඔබට දැනේවි. ජීවිතය සතුටින් විඳින්නට ඔබට හැකි වේවි.

විශ්වාසයයි යුග දිවියක සැනසීම

අවබෝධයෙන් ගත කල යුතු හැමදාම

ලැබෙනා සියලු දුක සැප ළඟ   ඉවසීම

අත්කර දේවි යුග දිවියට සැනසීම 

– කේ.ජී.ජී.රෝෂණී ද සිල්වා විසින් රචිත ඇගේ අත්දැකීම් –