තිරය දෙස බලා සිටීමේ කාලය දරුවන්ට බලපෑ හැක්කෙ කෙසේද?

අද ඩිජිටල් තාක්ෂණය මත ගොඩ නැගුනු ලෝකයක, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ  දරුවන් විවිධ උපාංග සමගින් ඔන් ලයින් කාලය ගතකිරීමට බොහෝ විට පෙලඹෙමින් තිබේ.

 

මුල් ළමාවියේ සිට ඔවුන් ස්මාර්ට් ෆෝන් සහ ටැබ් හරහා ඩිජිටල් අවකාශයට ඇතුල්වෙති; විවිධ උපාංග යොදා ගනිමින් ඔවුන් තිරය මත ගත කරන කාලය වැඩිවෙමින් තිබේ.

 

එය චිත්‍රපටයක් නැරඹීම හෝ ක්‍රීඩාවක යෙදීම ලෙස ගත කලද තිරය දෙස බලා සිටීමේ කාලය එමගින් ඉහල ගොස් තිබේ.

 

මෙය වැඩෙන ළමා මනසට බාධාකාරී වන අතර අවධානය වෙනතකට යොමු කළ හැකි අංගයක් බවට විශ්වාස කෙරේ..

 

එය ජීවන කුසලතා වර්ධනයට සහ මානසික ස්ථාවරත්වයට බලපෑ හැකි අතර දරුවන් තුළ හුදකලා හැසිරීම් දිරිමත් කරයි.

 

VR හෙඩ්සෙට් හරහා ගෙන එන සම්පූර්ණයෙන්ම ඩිජිටල් අත්දැකීමක් වන Metaverse හි දියුණුවත් සමඟ ළමයින්ට විශාල බලපෑම් ඇතිවිය හැකි බව විශේෂඥයෝ විශ්වාස කරති.

 

මන්ද යත් Metaverse සැබෑ ජීවිතයට වඩා වෙනස්ම, බලවත් ලෙස සිත් ඇදගන්නා අතාත්වික අත්දැකීම් සපයමින් ව්‍යාජ හැඟීමක්  ඇති කළ හැකි ඩිජිටල් ලෝකයක් නිසාය.

එක්සත් ජනපදයේ චර්යාත්මක පෝෂණය සහ ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳ ජාත්‍යන්තර සඟරාව ළමයින්ට ඉහළ මට්ටමේ තිර කාලයක ඇති බලපෑම පිළිබඳව කරන ලද අධ්‍යයනයක සඳහන් වන්නේ ළමයින් ගත කරන තිර කාලය මධ්‍යස්ථ නම්, ඔවුන්ට සිදුවිය හැකි බලපැම අවම වන බවයි.

 

ළමුන් කෙරෙහි ඇති බලපෑම තීරණය කිරීමේදී ඩිජිටල් අන්තර්ගතයේ ගුණාත්මකභාවය ඉතා වැදගත් බව ද එහි සඳහන් වේ.

එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන 2018 වසරේ සිදු කරන ලද අධ්‍යයනයකින් කියැවෙන්නේ දිනකට පැය 02කට වඩා වැඩි ඩිජිටල් තිර කාලයක් ගත කරන දරුවන් ගේ භාෂා සහ විවේචනාත්මකව සිතීමේ හැකියාවන් දුර්වල වන බවය.

 

දිනකට පැය 07කට වඩා වැඩි තිර කාලයක් ගත කරන දරුවන් ගේ මොළයේ විවේචනාත්මක චින්තනයට හා තර්කයට සම්බන්ධ ප්‍රදේශය වර්ධනය නොවන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

 

ළමා චර්යා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටින්නේ දරුවන් ගේ තිර කාලය වැඩි වීම තුලින් ඔවුන්ගේ සංවර්ධන ක්‍රියාවලියේ ඇතැම් අංග දුර්වල වන බවත් ඔවුන්ගේ උනන්දුව, ගවේෂණය සහ ඉගෙනීම කෙරෙහි යොමුවීම වැනි ගුනාංග ඩිජිටල් තිරය ලෙස අඛන්ඩව බලා සිටීමෙන් අඩුවන බවය.

 

එළිමහනේ ක්‍රීඩා කිරීම, නිර්මාණාත්මක කටයුතුවල යෙදීම සහ අනෙකුත් දරුවන් සමඟ ක්‍රීඩා කිරීම වැනි ඉලෙක්ට්‍රොනික නොවන ක්‍රියාකාරකම් කෙරෙහි ඔවුන්උනන්දු කරවීමද දුෂ්කර බව විශේෂඥ වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසයි.

 

තිර කාලයට වැඩි වෙලාවක් දෙන දරුවා තිරය මත නොවන ජීවමාන අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව නොමැති, අනෙක් දරුවන් සමඟ සංවාදයේ සහ ක්‍රියාකාරකම්වල යෙදීමේ හැකියාව අඩු පුද්ගලයෙක් වන බව එමගින් අවධාරනය කරයි.

 

ළමුන් ගේ තිරය මත ගත කරන කාලය අඩු කිරීම දෙමාපියන් හට ගත හැකි වැදගත් තීරණයක් ලෙස සැලකිය හැක.

 

ඒ සදහා පහත සදහන් පියවරයන් දෙමාපියන්ට ගත හැක.

  • ඉතා කුඩා දරුවන් තිරයක් සමඟ නිරතුරුව ගත කිරීම අවම කරන්න.
  • පවුලේ විනෝද කාලයක් ලෙස ක්‍රීඩා කිරීම, චිත්‍ර ඇඳීම වැනි ඉලෙක්ට්‍රොනික නොවන ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට දරුවන් දිරිමත් කරන්න.
  • පවුලේ කටයුතු සඳහා ඩිජිටල් උපාංගයන් ගෙන් නිදහස් වේලාවන් වෙන් කරන්න – රාත්‍රී ආහාර වේලාව, ක්‍රීඩා කාලය, කියවීම් කාලය ලෙස එවන් වෙලාවක් නම් කල හැක.
  • ඩිජිටල් තිරය සමග කාලය ගත කරනවා වෙනුවට පොත් කියවීම සහ කථා ඇසීම වැනි ක්‍රියාකාරකම් වර්ධනය කිරීම

\"\"