ඇතුලාන්ත සුවය (මානසික සුවය ) ගැන ඔබ දැනුවත්ද ?

ඇතුලාන්ත සුවය (මානසික සුවය) යනු කුමක්ද ?
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික සෞඛ්‍ය නිර්වචනය කරන්නේ මානසික රෝග වලින් තොර වීම පමණක් නොව පුද්ගලයෙකු තම හැකියාවන් නියමාකාරයෙන් හදුනා ගනිමින් එදිනෙදා ආතතීන් සහ ගැටලුවලට නිසියාකාරව මුහුණ දෙමින් ඵලදායිව ජිවත් වීමයි.

ඔබ කාන්තාවක් ලෙසට,මවක් ලෙසට,බිරිදක් ලෙසට, සොයුරියක් ලෙසට පවුල තුල,සමාජය තුල කෙතරම් මානසිකව පීඩා විදිනවාද?මෙලෙස පීඩා විදින්න කුමක්ද හේතුව?කාන්තාවක් කියන්නේ බොහෝ විට ස්වාධීනව ,හුදෙකලාව,ජීවත් වීමට කැමති පිරිසක්.මේ හේතුවෙන් සමාජය තුළ හෝ පවුල තුළ කාන්තාවන් කෙරෙහි ඇති අවධානය අඩුයි. ඉතින් බොහෝ වෙලාවට කාන්තාවකට තමන්ගේ අදහස් ,හැගීම් බෙදා ගන්න විශ්වාසවන්ත හෝ සමීප කෙනෙක් නොමැති තරම්. මෙම හේතුන් නිසා බොහෝ කාන්තාවන් මානසිකව පීඩා විදිනවා.නමුත් කාන්තාවක් වන ඔබ දැනගත යුතු කරුණක් තිබෙනවා. එනම්,ඔබ තවත් මේ ගැන සිතමින් දුක් විය යුතු නෑ. ඇයි මම එහෙම කියන්නේ? අපි බලමු .

ඔබ මෙම ලිපිය කියවන කාන්තාවක් නම්, මේ වන විටත් යම් ආකාරයකින් ඔබේ මානසික සුවය ඔබෙන් ඈත්ව ගොස් තිබෙනවා නම් මෙය කියවන ඔබට යම් සහනයක් වනු ඇත.

ඔබට ඔබේ ඇතුලාන්ත සාමය (මානසික සුවය) ආරක්ෂා කර ගන්න නම් ඔබට කල හැකි දේවල් මොනවාද?

1.ඔබේ වටපිටාවේ සිදු වන දේවල් ඔබේ ජීවිතයට අදාළ කර ගන්න එපා.
අපි බොහෝ විට කුඩා දේටත් ඉක්මනින් සංවේදී වෙනවා. උදාහරණයක් ලෙසට යම් කලහකාරී හෝ සිත වේදනාවට පත් කරන පුවතක් අසන්නට හෝ දකින්නට ලැබුණු විට ඒ ගැන දිගින් දිගටම සිතන්නට පටන් ගන්නවා.ඇතැම් විට එම සිද්ධිය මාසයක්,මාස දෙකක් නැත්නම් ඊටත් වඩා වැඩි කාලයක් ඔබේ මනසේ තිබෙන්න පුළුවන්. ඔබේ දෛනික කටයුතු වලදී හෝ පුද්ගලයන් සමග කතා බහ කරන විටදී පවා මේ පිලිබදව අදහස් ප්‍රකාශ කල හැක.මේ පිලිබදව දිගින් දිගටම කල්පනා කිරීමෙන් හෝ සිතීමෙන් සිදු වන්නේ ඔබේ මානසික සුවය නැති වීමයි.ඔබ කාන්තාවක් ලෙසට ඔබේ මනස, ඔබේ සිත ශක්තිමත් කර ගත යුතුයි.ඔබට ඔබේ සිත රිදවන යම් සිද්ධියක් හෝ යම් අවස්ථාවකට මුහුණ පාන්නට සිද්ධ වුණොත් එයට ඔබේ ජිවිතේ ඉඩක් ලබා දෙන්න එපා.දිගින් දිගටම ඒ ගැන සිතන්න යන්න එපා.කතාවකුත් තියෙනව නේ ,දවසේ කරදර දවසට සෑහේ කියල.ඉතින් ඔබ ඔබේ වටපිටාවේ සිදු වන දේවල් ගැන සැලකිළිමත් වෙන්න.නමුත් ඒවා ජීවිතයට අදාළ කර ගන්න එපා.එවිට ඔබට ඔබේ මානසික සුවය ලගා කර ගත හැක.

 

2.ඍණාත්මකව සිතීම අත්හරින්න.
ඔබ සෑම විටම ඍණාත්මකව සිතීමට පුරුදු වී සිටින අයෙක් නම් එය අදම අත් හරින්න.\’අනේ මට බෑ , ඕක හරියන්නේ නෑ ,වැඩක් නෑ …..\’ වැනි සිතුවිලි වලින් ඔබ ඈත් වෙන්න. ඔබ ඔබට කරන්න පුළුවන් දේ උත්සාහා කරලා බලන්න.ඔබට අවශ්‍ය දේවල් ඔබ ඉගෙන ගන්න. ඔබ නිතරම ඍණාත්මකව සිතන කෙනෙක් නම් ඔබේ ජිවිතේ හැම දෙයක්ම ඍණාත්මකයි.ඔබ දන්නවද ඔබේ වචන වලට ඔබේ සිතුවිලි වලට බලයක් තිබෙන බව. ඔබ තේරුම් ගත යුතු දෙයක් නම්, ඔබ ඔබේ ජීවතේ සියලුම අවස්ථාවන් වලදී දිගින් දිගටම ධනාත්මකව සිතන්නට පුරුදු වුවහොත් ඔබට ලගා කර ගත යුතු දේ යහපත් ලෙස ඔබට ලගා කර ගත හැක.

 

3.මානසික සමබරතාවය අවශ්‍යයි.
ඔබට ඔබේ මානසික සමබරතාවය රැක ගැනීමට අවශ්‍යයි නම් ඔබට ඔබ පිළිබදව දැඩි ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි.උදාහරණයක් ලෙස ඔබට සිතෙනවා නම් යම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ,එයට මුලින්ම බලපාන්නේ ඔබී මානසික සමබරතාවයි.නැතහොත් ඔබේ ආත්ම විශ්වාසයයි.මෙලෙස ඔබ ඔබ පිලිබදව විශ්වාසයකින් කටයුතු කරනවා නම් ඔබට ඔබේ මනස සමබරව පවත්වා ගත හැක.

 

4.ඇතුලාන්ත සුවය ආරක්ෂා කර ගන්න.
ඇතුලාන්ත සුවය ඉතාමත් වැදගත් දෙයක්.ඔබට ඔබේ ඇතුලාන්ත සුවය ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයි නම් නිතරම හොද සංගීත වාදනයකට ඇහුම්කන් දෙන්න,පොත් කියවන්න,පවුලේ අයත් එක්ක තමන් කැමති ස්ථාන වලට යන්න,ඔබව මානසිකව පිඩාවට ලක් කරන මිනිසුන්ගෙන් ඈත් වෙන්න.