මානසික හා ශාරීරික සෞඛ්‍යය අතර සම්බන්ධයක් තිබේද?

මානසික සෞඛ්‍යය සහ ශාරීරික සෞඛ්‍යය අතර සෘජු සම්බන්ධයක් ඇති බව විශේෂඥයන් විශ්වාස කරති.

 

විවිධ මානසික තත්ත්වයන් භෞතිකව ප්‍රකාශ වියහැකි අතර එවන් සිදුවීම් එදිනෙදා ජීවිතයට බලපෑම් කල හැකිය.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය ට අනුව මානසික සෞඛ්‍යය නම් සම්පූර්ණ ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්ම තුලනය කරගැනීමේ තත්ත්වයක් මිස රෝගයක් හෝ දුර්වලතාවයක් නොවන බවය. අපගේ මනා පැවැත්ම සදහා මානසික සෞඛ්‍යය අතිෂයන්ම වැදගත් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

 

සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා මානසික සෞඛ්‍යයේ වැදගත්කම අවතක්සේරු කළ නොහැක – එය අපගේ එදිනෙදා යහපැවැත්මේ සෑම අංශයකටම පාහේ බලපාන අතර නිසි ප්‍රතිකාර නොකළහොත් විවිධ රෝගි තත්ත්වයන් එතුලින් ඉස්මතු විය හැකිය.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන මානසික සෞඛ්‍ය තත්ත්වයන් අතර මානසික අවපීඩන තත්ත්වය සහ කාංසාව මුල් තැන ගනියි.

 

සාමාන්‍ය කාංසාව (GAD), සන්ත්‍රාසය , භීතිකාව, සමාජ කාංසාව, උමතු වෙසක් ගත් බලහත්කාර හැසිරීමක් පෙන්වන මානසික තත්ත්වය ( Obsessive-Compulsive Disorder -OCD) සහ පශ්චාත් ව්‍යසන ආතතිය  (PTSD) ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙන මානසික සෞඛ්‍ය ගැටළු අතර වේ.

 

මෙම තත්ත්වයන් දරුණු හෝ මධ්‍යස්ථ ශාරීරික රෝග ඇති කළ හැකිය – මානසික අවපීඩනය හිසරදය, ආහාර ජීර්ණ ගැටළු සහ තෙහෙට්ටුව වැනි රෝගී තත්ත්වයන් ඇති කරයි. කාංසාව මුල් කර ගෙන උදරාබාධ, නින්ද අහිමි වීම සහ නොසන්සුන් භාවය වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

 

ස්ථාවර සහ ප්‍රතිකාර නොගත් මානසික සෞඛ්‍ය තත්ත්වයන් එදිනෙදා ක්‍රියාකාරිත්වයට දැඩි ලෙස බාධා ඇති කළ හැකි අතර සමබර ජීවිතයක් ගත කිරීම වළක්වයි. සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති විය හැකි මෙන්ම ස්වයං-හානිකර ගැනීම සදහාද යොමුවිය හැකිය.

 

Covid වසංගත තත්ත්වය සමඟ මානසික සෞඛ්‍යය බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවු ගැටලුවක් බවට පත්විය.   Covid-19 සමග ඇතිවු රට වසා දැමීමේ තත්ත්වය වැනි අවස්ථාවන් මුල් කරගෙන විවිධ මානසික තත්ත්වයන් දැක ගත හැකිවිය. එවන් පසුබිමක කාංසාව සහ මානසික අවපීඩනය වැනි මානසික සෞඛ්‍ය තත්ත්වයන් පැන නැගිය හැකි අවස්ථාද බහුල විය.

 

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කටයුතු කරන්නේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMHS) වේ.   රෝගීන්, ප්‍රජාව සහ  සියලු අදාල කොටස්කරුවන් ගේ සහයෝගය සමග විවිධ යාන්ත්‍රණ හරහා මානසික සෞඛ්‍ය රැකවරණය සඳහා පුළුල් සහ සාක්ෂි පදනම් කරගත් සහාය ලබා දීමේ ඉලක්කයකට ආයතනය කැපවී සිටියි.

 

විවිධ මානසික ගැටළු සාර්ථකව සමනය කරගැනීම ප්‍රජාව සතු වැදගත් කාර්‍යභාරයක් ලෙස සැලකිය යුතුය.

මානසික සෞඛ්‍යය,  ශාරීරික තත්ත්වයන් මෙන්ම හානිදායක විය හැකි අතර සමස්ත සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඇති බලපෑම අවම කිරීම සඳහා  මනා කළමනාකරණයකට ලක්විය යුතුය.

 

ළමුන් ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.   එමෙන්ම යෞවනයන්ට මානසික සෞඛ්‍ය ගැටළු ලෙස ආතතිය සහ අධ්‍යාපන පීඩනයද දැඩි ලෙස බලපෑම් එල්ල කරයි. මෙම තත්ත්වයන් අවම කිරීමට දරුවන්ට විනෝදාංශවල යෙදීමට සහ සොබාදහම සමඟ සම්බන්ධ වීමට එළිමහනේ ක්‍රීඩා කිරීමට ඉඩ ලබාදීම වැදගත්වේ.

 

ළමුන් ගේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට මෙන්ම ඔවුන්ගේ දුර්වලතා පිළිබඳව තේරුම් ගැනීමට සහ ආදරය ප්‍රකාශ කිරීමට හැකි දයාබර අවකාශයක් ඔවුන්ට සහතික කරමින් හරවත් පවුල් සංවාදවල යෙදීමද ඉතා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

 

අපගේ ශාරීරික යහපැවැත්ම කළමනාකරණය කරන අතරම මානසික සෞඛ්‍ය තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට ගත හැකි බොහෝ  පියවරයන් තිබේ.

 

පහත දැක්වෙන්නේ එයින් කිහිපයක්.

 

ව්‍යායාම – නිතිපතා ස්ථාපිත ක්‍රියාවලියක් ලෙස ව්‍යායාම වල නිරත වීම මානසික සහ ශාරීරික සෞඛ්‍යය යන දෙකම ඉහළ නැංවීමට දායක වේ.

 

අන් අය සමඟ සමාජ සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම – සහයෝගයෙන් කටයුතු කිරීම මුල්කරගත් සම්බන්ධතාවයන් ඇතිකර ගැනීම සහ හවුල් සංවාද වල යෙදීම මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට ඉවහල් වේ.

 

ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම – නිශ්චිත වේලාවක නින්දට යාම සහ නොබිඳුණු පැය 8ක නින්දක් මානසික සුවතාවයට සහ විවේකයට දායක වේ.

 

විනෝදාංශයක නිරත වීම – විනෝදාංශයක් තෝරා ගැනීම තුලින් එදිනෙදා ජීවිතයට හරවත් යමක් එක්කර ගැනීම සිදුවෙන අතර එමගින් ප්‍රීතිමත් මනෝභාවයක් පෝෂණය වීමට ඇති ඉඩකඩ වැඩිය.

 

සොබාදහම සමඟ සම්බන්ධ වීම – සොබාදහම අගය කරන සංචාරවල යෙදීම සහ ස්වභාව සෞන්දර්යය අත්විඳීම බොහෝ විට කාංසාව සමනය කර ධනාත්මක මානසික සෞඛ්‍යය ශක්තිමත් කරයි.

 

මානසික සෞඛ්‍යය ප්‍රමුඛතා ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීම , ඒ සදහා ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීම සහ එය හොඳින් අවබෝධ කර ගැනීම ප්‍රජාවක් ලෙස  මානසික සෞඛ්‍යය කළමනාකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස දැකිය හැක.

 

\"\"

Leave a Comment

Your email address will not be published. Required fields are marked *